ගමන් බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

By krishani May 09, 2022 03:58 AM GMT
Report

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා යළි අද (09) සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළහ.

ඒ අනුව අද භාරගනු ලබන්නේ පසුගිය පහ, හය සහ 9 යන දිනවල දී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ගේ ඉල්ලුම්පත් පමණී.

පසුගිය පස්වනදා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් භාරදීමට පැමිණ දෙපාර්තමේන්තුවෙන් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් ද අද භාරගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  නිවේදනය කළේ.

හෙට(10) දින සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන් කරගැනීමට පැමිණීම අනිවාර්ය වේ.

මීට අමතරව www.immigraion.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස හෝ 070 710 10 60 යන දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත හැකියි.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන අනෙකුත් සේවා ප්‍රාදේශීය කාර්යාල මගින් සිදු කරනු ලබන සේවා සහ ගුවන් තොටුපල ආගමන විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

හැකි ඉක්මනින් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවත්, ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කනගාටු වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join