සිංදු කියන අයට වැදගත් ආරංචියක් - ලයිසන් දෙන වැඩේ තාවකාලිකව නවතයි
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් එල්ල වූ චෝදනා සහ විවේචන මෙන්ම පසුගිය සති කිහිපය තුළ ලැබුණු අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා සියලුම බලපත්‍ර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවනු ඇත.
මෙම තාවකාලික අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ අයිතිවාසිකම්, නීතිමය පිළියම් හෝ නීතිමය තත්ත්වයට කිසිදු අගතියක් සිදු නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, පසුගිය කාලසීමාවේදී සිදුවූ යම් අපහසුතාවක් සම්බන්ධයෙන් සංගමය සිය කණගාටුව පළ කර තිබේ. ජනමාධ්‍ය හමුවලදී සිදුකළ ප්‍රකාශ හේතුවෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ට සිත් රිදවීමක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳව ද කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සංශෝධනය කිරීම හා සමාලෝචනය කිරීම සඳහා විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට ද සංගමය තීරණය කර තිබේ.