පාසල් දරුවන් අපරාධකරුවන්ගේ ඉලක්කයක් වෙලාද.. අලුත්ම වාර්තාව මෙන්න

Child Abuse Latest Headlines School Children Sinhala news Puwath.lk
By R.rishma Oct 13, 2026 04:15 AM GMT
Report

අන්තර්ජාලය හරහා ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය බහුලව භාවිත කරන පාසල් දරුවන් ඇතැම් අවස්ථාවලදී ඒවායේ පවතින අවදානම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි.

වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදුවන බවත්, එම තත්ත්වය හමුවේ පාසල් වයසේ පසුවන දරුවන් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම පාසල් නොයන දරුවන් විවිධ අපරාධ සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා ද යොදා ගැනීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එවැනි දරුවන් අපරාධ සඳහා යොදා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමුව ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පසුගිය කාලසීමාව තුළ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි සහ තොරතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද සුනිල් වටගල මහතා අනාවරණය කළේය.

ළමුන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී පවතින අවදානම් පිළිබඳ දැනුවත් කිරීමත්, ඔවුන් අපරාධ ජාලවලට ගොදුරු වීම වැළැක්වීමත් මේ අනුව වැදගත් කරුණක් බවට පත්ව තිබේ.