"ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් ලු"
Sri Lanka
By Wayomi
හබන් කුකුළා කියන්නේ ලංකාවේ පහත රට තෙත් කලාපීය වනාන්තර වල හා වියළි කලාපීය වනාන්තර වලත් වෙසෙන පක්ෂියෙක්. මොවුන් ආහාරයට ගන්නේ විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් වර්ග.
ඉතින් මේ පක්ෂීන් විශේෂය හරිම කැමතියි කැකුණ මඳ කන්න. ඒත් ඔවුන්ට කැකුණ ගෙඩිය තලලා, පොත්ත අයින් කරලා කන්න හැකියාවක් නැහැ. හබන් කුකුලා වගේම කැකුණ ගෙඩි කන්න වල් ඌරොත් හරිම කෑදරයි. ඒ නිසාම කැකුණ ගෙඩි වැටෙන කාලෙට කැකුණ ගස් වටේ වල් ඌරෝ පිරිලා. උන් කැකුණ ගෙඩිය හොබුවේ ඇනලා, හපලා පළනවා. පළාගත්තු කැකුණ ගෙඩියේ පොත්තයි, මඳයයි කනවා. ඕකට තමයි කියන්නේ කැකුණ තලනවා කියලා. ඉතිරි වෙන කැකුණ මද හබන් කුකුළන්ට රාජ භෝජනයක්ලු. ඒ භෝජනය වළඳන්නට වෙන්නේ ඌරෝ කැකුණ තලපු දාටයි. හබන් කුකුළන්ට කැකුණ මද කන්ට නම් ඌරෝ කැකුණ තලන තෙක් බලාගෙනම ඉන්න වෙනවා. මොකද ඔවුන්ට කැකුණ ගෙඩිය තලාගන්න විදිහක් නැති නිසා.
මෙන්න මේ නිසා තමයි ඉස්සර ඉඳන්ම ගැමියන්, තමන් ආසා කරන දෙයක් පහසුවෙන්ම ලබා නොහැකි වූ වෙලාවට කියන්නේ, ‘වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්’ කියලා.

