සිව්මස් බිළිදා ඇතුළු පවුලේ අයට එල්ල වූ වෙඩි තැබීම ගැන එළියට ආ නවතම තොරතුරු..

By Sewvandhi Oct 23, 2023 01:13 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පෙරේදා (21) රාත්‍රී 7.30ට පමණ අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර පාසල අසලදී සිදුවූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ සිව්මස් හැවිරිදි දරුවා තුවාල ලබා තිබුණි.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ සංවිධානාත්මක අපරාධයන්හි නිරත ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවයි, පොලීසිය පවසන්නේ.  

පොලීසිය පවසන්නේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකු ඉලක්ක කර ටී 56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබු බවයි. පොලීසිය සැක කරන්නේ ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් කුරුඳු වත්තක සැඟව සිට වෙඩිතැබීම සිදුකර ඇති බවටය.

එහිදී යතුරු පැදිකරුට, ඔහුගේ බිරිඳට සහ ඔවුන්ගේ සිව්මස් හැවිරිදි දරුවාටද වෙඩි ප්‍රහාර එල්ලවුවද, සිදුවීම වූ ස්ථානයේ සිට මීටර් 600ක් පමණ දුරින් වූ සිය නිවසට ඔවුන් නොනවත්වා යතුරු පැදිය ධාවනය කර තිබේ. අනතුරුව 32 හැවිරිදි දිනේෂ් ද සිල්වා, ඔහුගේ බිරිඳ වන 28 හැවිරිදි ශානි මහේෂා සහ සිව්මස හැවිරිදි නෙහාන් නම් පිරිමි දරුවා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙහිදී, වෙඩි වැදීමෙන් දිනේෂ් ද සිල්වා නැමැත්තාගේ මුඛයට හානි සිදුවී ඇති අතර සිව්මස් දරුවාගේ පාදයකට දැඩි හානි සිදුවී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

පොලීසිය සැක පළ කරන්නේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ සංවිධානාත්මක අපරාධවල නිරත ප්‍රධාන කණ්ඩායම් දෙකක් වන "ලොකු පැටීගේ" පාර්ශ්වය සහ "කොස්ගොඩ සුජීගේ" පාර්ශ්වය අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

රාත්‍රීයේ සිදූවු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු අඹුසැමි යුවල මේ වනවිට විදේශ ගතව සිටින අහුංගල්ලේ බාබා නැමැති අපරාධකරුගේ සමීප ඥාතින් බවට පොලීසිය හඳුනාගෙන තිබේ. කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවය.