ලොව ප්රමුඛ මාධ්ය සංගමයක මහා සමුළුවට මෙවර ශ්රී ලංකාව සත්කාරකත්වය දෙයි
ආසියා - පැසිෆික් කලාපයේ ප්රමුඛතම මාධ්ය හා විකාශන ක්ෂේත්රයේ නියෝජිතයන් 350කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 63 වැනි ආසියා - පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහා සභා රැස්වීම සහ ඊට සමගාමී සමුළු හා වැඩසටහන් කොළඹදී පැවැත්වේ.
ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 3 වැනිදා දක්වා කොළඹ සිනමන් ලයිෆ් - සිටි ඔෆ් ඩ්රීම්ස් පරිශ්රයේදී පැවැත්වෙන මෙම පස්දින සමුළුව මහාරාජා මාධ්ය ජාලය විසින් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව සංවිධානය කරනු ලබයි.
මෙම මහා සභා රැස්වීමේ සමාරම්භක උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිතය.
ශ්රී ලංකාව විසින් ආසියා - පැසිෆික් විකාශන සංගමයේ මහා සභා රැස්වීමක් සඳහා සත්කාරකත්වය ලබාදෙන පළමු අවස්ථාව මෙය වන අතර, පෞද්ගලික විකාශන ආයතනයක් විසින් එවැනි ජාත්යන්තර සමුළුවක් සඳහා සත්කාරකත්වය ලබාදෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.
මෙවර සමුළුව "සාමය සහ මානව වර්ගයා වෙනුවෙන් මාධ්ය: සත්යය, විශ්වාසය සහ පරිවර්තනය" යන තේමාව යටතේ පැවැත්වේ.
මෙම ජාත්යන්තර සමුළුවට සත්කාරකත්වය ලබාදීම ශ්රී ලංකාව ලෝකය හමුවේ ප්රවර්ධනය කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බව මහාරාජා මාධ්ය ජාලයේ සමූහ අධ්යක්ෂ චෙවාන් ඩැනියෙල් මහතා සඳහන් කළේය.
ලොව විශාලතම මාධ්ය සංගමයක නායකයන් සහ ක්ෂේත්රයේ ප්රමුඛයන් එක්රැස් වන මෙම අවස්ථාව තුළින් ශ්රී ලංකාවේ සුන්දරත්වය ජාත්යන්තරයට හඳුන්වා දීමට හැකි වන බව ද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
මේ අතර, ආසියා - පැසිෆික් විකාශන සංගමයේ මහලේකම් අහමඩ් නදීම් මහතා ද ශ්රී ලංකාව මෙවර සමුළුවේ සත්කාරකත්වය දැරීම පිළිබඳව සිය ප්රසාදය පළ කර තිබේ. මෙම මහා සභා රැස්වීම සංගමයේ ප්රධානතම වාර්ෂික වැඩසටහන බව ද ඔහු සඳහන් කළේය.
සමුළුවට සමගාමීව පැවැත්වෙන සාකච්ඡාවලදී විකාශන ක්ෂේත්රයේ නව ප්රවණතා, මාධ්ය ඔරොත්තු දීමේ හැකියාව, කෘත්රිම බුද්ධිය, මහජන සේවා මාධ්ය සහ කලාපීය සහයෝගීතාව ඇතුළු ක්ෂේත්ර රැසක් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ තවත් විශේෂාංගයක් ලෙස 15 වැනි ආසියා - පැසිෆික් විකාශන සංගමයේ ගීත උළෙල නොවැම්බර් 2 වැනිදා රත්මලානේ පිහිටි ස්ටයින් ස්ටූඩියෝස්හිදී පැවැත්වේ. ඒ සඳහා ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 10ක් නියෝජනය කරමින් කලාකරුවන් සහභාගී වීමට නියමිතය.
මීට අමතරව, ශ්රී ලංකාවේ සංචාරක ආකර්ෂණය, සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් ජාත්යන්තර නියෝජිතයන් වෙත හඳුන්වාදීමේ අරමුණින් ඔවුන් සඳහා ගාල්ල සහ බෙන්තොට ප්රදේශ ආශ්රිත සංචාර ද සංවිධානය කර තිබේ.
1964 වසරේදී ආරම්භ කරන ලද ආසියා-පැසිෆික් විකාශන සංගමයේ මූලස්ථානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටා ඇත. මෙම ජාත්යන්තර සමුළුව සාර්ථක කර ගැනීම සඳහා විදේශ කටයුතු හා සංචාරක අමාත්යාංශය, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය ඇතුළු රාජ්ය ආයතන කිහිපයක සහාය ද හිමිව තිබේ.