පශු වෛද්ය සේවයට නව බඳවා ගැනීම් ගැන අගමැතිනියගෙන් ඉඟියක්
ජාතික සංවර්ධන ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ප්රමාණවත් සම්පත් සහිත, වෘත්තීයමය වශයෙන් සහාය ලබන ශක්තිමත් පශු වෛද්ය සේවාවක් අත්යවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළේ 2026 ඔක්තෝබර් 30 වැනිදා කොළඹදී පැවැති ශ්රී ලංකා පශු වෛද්ය සංගමයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සහ සම්මේලනයට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය පෙන්වා දුන්නේ පශු වෛද්ය සේවාව සතුන්ගේ සෞඛ්යය රැකබලා ගැනීමට පමණක් සීමා නොවන බවයි. මහජන සෞඛ්යය ආරක්ෂා කිරීම, සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග වැළැක්වීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ වනජීවී සම්පත සංරක්ෂණය කිරීම සඳහා ද එම වෘත්තිය සුවිශේෂී දායකත්වයක් සපයන බව ඇය සඳහන් කළාය.
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ දියුණුව සඳහා ද පශු වෛද්ය සේවාවන් අත්යවශ්ය බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, පශු සම්පත් ඵලදායිතාව ඉහළ නැංවීම, සත්ව රෝග ව්යාප්තිය පාලනය කිරීම සහ ගොවි ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේදී එම සේවාවන්ට ප්රධාන කාර්යභාරයක් පැවරෙන බව ප්රකාශ කළාය.
එමෙන්ම සත්ව හිංසනය වැළැක්වීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීම, වගකීම් සහගත සත්ව හිමිකාරිත්වය ප්රවර්ධනය කිරීම සහ තුවාල ලැබූ හෝ පීඩාවට පත් සතුන් වෙනුවෙන් මැදිහත්වීමේ ක්රමවේද ශක්තිමත් කිරීමේ අවශ්යතාව ද ඇය අවධාරණය කළාය.
පශු වෛද්ය ක්ෂේත්රයේ පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, සුදුසු බඳවා ගැනීම් සහ සේවයේ යෙදවීම් සිදු කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම නවීන උපකරණ හා තාක්ෂණය සඳහා ප්රවේශය පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ද අග්රාමාත්යවරිය සඳහන් කළාය.
“ශක්තිමත් පශු වෛද්ය වෘත්තියක් යනු නිරෝගී ජනතාවක්, ඵලදායී කෘෂිකාර්මික ක්ෂේත්රයක් සහ තිරසර පරිසරයක් සඳහා අත්යවශ්ය සාධකයක්. මෙම වෘත්තියට සහාය වීම එක් ක්ෂේත්රයකට පමණක් සීමා වූ කරුණක් නොවෙයි. එය අපේ රටේ යහපැවැත්ම සහ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක්”
යනුවෙන් ද අග්රාමාත්යවරිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා, ශ්රී ලංකා පශු වෛද්ය සංගමයේ සභාපති ආචාර්ය සුගත් ප්රේමචන්ද්ර මහතා, සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එමෙන්ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ ශ්රී ලංකාව හා මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත විම්ලේන්ද්ර ශරන් මහතා ඇතුළු රාජ්ය හා ජාත්යන්තර නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රජයේ සේවය, විශ්වවිද්යාල, පෞද්ගලික පශු වෛද්ය සේවා, පර්යේෂණ ආයතන සහ පශු සම්පත් හා සත්ව සෞඛ්ය ක්ෂේත්ර නියෝජනය කරමින් පශු වෛද්ය වෘත්තිකයන් රැසක් ද සමුළුවට එක්ව සිටියහ.