උත්සව සමයේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමට රජයෙන් පියවර
ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළ රටේ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්ය පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
වෙළෙඳපොළට අත්යවශ්ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් සමුපකාර තොග වෙළෙඳ ආයතනය (CWE), සතොස සහ සමුපකාර සමිති මෙන්ම පිටකොටුවේ ආනයනකරුවන්ගේ සංගම් හා දේශීය නිෂ්පාදකයින් සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්යවරයා සඳහන් කළේය.
උත්සව සමය ආසන්න වන විට වෙළෙඳපොළේ ඇතැම් භාණ්ඩවල මිල ගණන්වල වෙනස්වීම් සිදුවිය හැකි බව පෙන්වා දුන් අමාත්යවරයා, එවැනි තත්ත්වයන් ශ්රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව ද ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, වෙළෙඳපොළේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ පාරිභෝගික ජනතාව මත පැටවෙන ආර්ථික බර අවම කිරීම අරමුණු කරගනිමින් රජය ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදකයින් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ද වෙළෙඳ අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.