හදිසි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්.. (PHOTOS)

Sri Lanka
By krishani May 07, 2022 07:43 AM GMT
Report

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා බවයි.

- උපුටාගැනීම -

ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය කියා සිටී.

කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතළම ආර්ථික සමාජ අර්බුදයටත් දේශපාලන අස්ථාවරත්වයටත් ගොදුරු වී ඇත. ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී තිබේ.

හැකි කෙටිම කාලය ඇතුළත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යථා තත්ත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගනී. මහානායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, සෙසු පූජකවරු, ආර්ථික විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥයන් සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් අර්බුදය ජයගැනීමට කළයුතු ප්‍රතිසංස්කරණ කවරේදැයි ගතවූ කාලය තුළ පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පසුගිය අප්‍රේල් 23 දා ප්‍රකාශයට පත්කළ නිවේදනයෙන් ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් හඳුන්වා දුන්නේය. රට හමුවේ ඇති හදිසිතම අභියෝගය ආර්ථික හා ණය අර්බුදය කෙටි කාලක් ඇතුළත කළමනාකරණය කිරීමයි. ප්‍රතිසංස්කරණ ආරම්භකොට ඉදිරියට ගෙනයාමට සමත් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් තිබීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව නීතිවේදීන්ගේ සංගමය විසින් අවධාරණය කෙරිණ.

මුල්‍ය සහන ලබාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ බහුපාර්ශ්වික ආයතන සහ මිතුරු රටවල් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ. ඊට සාධනීය ප්‍රතිචාර ඵලවී ඇත. ඒවායේ සාර්ථකත්වය පිණිස අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය ගොඩ නැගීමට දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ සාමය ප්‍රධානම කොන්දේසියකි. දැන් දින ගණනාවක සිට අගනුවර ඇතුළු රටපුරාම පාහේ සංවිධාන කෙරෙන ආවේගශීලී විරෝධතා ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇත.

ඉන්ධන සැපයුම ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා පැමිණ තිබේ. දුම්රිය සහ පොදු මගී ප්‍රවාහනය අඩාල වී ඇත. රෝහල්වල දෛනික කාර්යයන්ට බාධා ඇතිවීමෙන් රෝගීහු පීඩාවට පත්ව සිටිති. ඇඟලුම් ඇතුළු නිෂ්පාදන කර්මාන්තවල වැඩ විටන් විට ඇන හිටියි. දරුවනට පාසල්යාමට නොහැකි වී ඇත.

රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම කම්හල් සහ ආයතනවල සේවකයනට සේවයට වාර්තා කිරීමට අපහසු වී තිබේ. මේ විරෝධතා ජන ජීවිතය අඩාල කිරීමට අමතරව ආර්ථික අර්බුදය තවත් උත්සන්න කරයි. එබැවින් මහජන ආරක්ෂාව සහ ජන ජීවිතය සුකරක්ෂිත කිරීම, අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරා ගැනීම පිණිස මහජන ආරක්ෂක ආඥා පනතින් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව හදිසි අවස්ථා නීතිය බලාත්මක කෙරිණ. හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණි. යථා තත්ත්වය උදා වූ වහාම එය ඉවත් කරනු ලැබේ.

මොහාන් සමරනායක,

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGallery