වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගනී!..

Sri Lanka Police Gotabaya Rajapaksa Sri Lanka Ministry of Defense Sri Lanka
By Aruna May 06, 2022 02:08 AM GMT
Report

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර තිබෙනවා.

මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා යටතේ වන ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා මහ බැංකුව අසල පිහිටි පොලිසියේ ආරක්ෂක වළල්ල බිඳ දමා ජනපති මන්දිරයට ඇතුළුවීමට ගත් උත්සාහය ඇතුළුව පොලිසියෙන් සපයන ආරක්ෂාව සම්බන්ධව උද්ගත වූ අඩුපාඩු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ජනාධිපතිවරයාගේ ආරක්ෂක සේනාවේ සිටින පොලිස් කණ්ඩායම්වල අණදීම මෙතෙක් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ තිබිණි.

සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විරෝධතා හා උද්ඝෝෂණ තත්ත්වයන්වලදී පොලිසියට අණ දීමේදී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන මෙම පත්කිරීම සිදු කර ඇත.

මේ අනුව පුත්තලම භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ජනාධිපති ආරක්ෂක සේනාවේ පොලිස් කණ්ඩායම් භාරව පත්කර ඇත.

බුද්ධි හා ආවේක්ෂණ අංශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ටී. ජයලත් ඇතුළු සියයක පොලිස් බුද්ධි අංශ කණ්ඩායමක්ද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ඊයේ (5 වැනිදා) සිට පත්කර තිබේ.

ජනපති මන්දිරය අසලට පසුගිය අඟහරුවාදා (3 වැනිදා) අන්තරේ භික්ෂූන් කඩා වැදීමේදී පොලිසියට එය වළක්වා ගත නොහැකිවීම සම්බන්ධව ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පෙරේදා (4 වැනිදා) ආරක්ෂක අමාත්‍යාංශයෙදී පැවැතිණි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now