මැයි 9ය ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු රැසක් එළියට - පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

Nihal Talduwa Galle Face Protest Sri Lanka Politician Sri Lankan protests Sri Lanka Economic Crisis
By Sewvandhi May 20, 2022 03:12 PM GMT
Report

පසුගිය 9 වනදා රට තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනතාව තොරතුරු රැසක් ලබාදී ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ සිද්ධි පිළිබඳව තොරතුරු ලබාදීමට පොලීසිය විසින් මහජනතාවට telligp@police.gov.lk විද්‍යුත් ලිපිනය, 1997 හා 118 යන කෙටි දුරකථන අංක හඳුන්වාදී තිබුණි.

ඒ අනුව ඉකුත් 11 වනදා සිට අද (20) දිනය දක්වා අදාළ අංක හා විද්‍යුත් ලිපිනය හරහා පැමිණිලි 31ක්, තොරතුරු 669ක් සහ ඊට අදාළ වීඩියෝ පට 73ක් සහ ඡායාරූප 484ක් ලැබී තිබේ.

මේ අතර ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල අරගලවලට පසුගිය 09 වනදා පහරදීමට සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය එළඹෙන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 

 රිමාන්ඩ් භාරයට පත් කෙරුණු සැකකාරිය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රිවරියකි. අනෙක් සැකකරු හංවැල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ පහරදීමට පැමිණි පිරිස කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා ගමන් කිරීම වැළැක්වීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් පැවැත්වෙන බවය.

එම පුද්ගලයින් කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දෙසට ගමන් කිරීමට නියමිත බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ බවත් මෙවැනි උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය සාමාන්‍යයෙන් මාර්ග බාධක දෙකක් යොදන බවත්, මෙම සිද්ධියේදී පොලීසිය එලෙස ක්‍රියා නොකළේ ඇයි ද යන්න මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා තිබේ. ඊට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවය. එ

මෙන්ම පසුගියදා මිරිහානේදී ඇතිවූ විරෝධතාව අතරතුරදී බස්රථයකට ගිනි තැබීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now