නිදියහනේ සිටි දරු තිදෙනාට අමානුෂික ලෙස පහරදී ගෙල වැලලාගත් පියා - සංවේදී දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka Galewala Makulugaswava Hathekanuva carime
By Sewvandhi Mar 12, 2022 08:30 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නිදා සිටී තම දරුවන් තිදෙනාගේ හිස්වලට අමානුෂික ලෙස පොල්ලකින් පහරදුන් බව කියන පියෙක් පිළිබඳව පුවතක් වාර්තා විය. අද (12) අලුයම ගලේවෙල මකුලුගස්වැව 7 කණුව ප්‍රදේශයේ නිවසකින් මෙම සංවේදී පුවත වාර්තා වී තිබුණි. 

එලෙස පහරදීමෙන් පසු දරුවන් මිය යන්නට ඇතැයි සිතා පියා විසින් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මිහිර නුවන් චාමිකර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් බව මකුලුගස්වැව පොලීසිය කියයි.

දරුවන්ගේ මව සැමියා සමග අමනාප වී නිවසින් පිටව ගොස් මේ වනවිට මාසයකට අධික කාලයක් වන බවද වාර්තා වෙයි. බිරිඳ සමග පැවැති ආරවුලක් නිසා සිත් තැවුලෙන් සිටි මිහිර ඊයේ රාත්‍රියේ ගීතයක් ද ගායනා කොට ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ. පසුව සුදු පැහැති කොඩියක ඡායාරූපයක් ද ෆේස්බුක් ගිණුමේ පළ කර ඔහු මෙම අපරාධය සිදුකර ඇත.

පොලීසිය සඳහන් කරන්නේ අද අලුයම් කාලයේදී ඇඳ මත නිදා සිටි 13, 8 සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට සහ දියණියට එලෙස අමානුෂික ලෙස හිසට පොල්ලකින් පහරදී ඇති බවය. පසුව මිහිර විසින් නිවෙස පිටුපස ගසක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවය. බිරිඳ නිවසෙන් බැහැරව සිටියදී මියගිය පුද්ගලයා   දරුවන් සහ ඔහුගේ මව සමග මෙම නිවසේ ජීවත්වී තිබූ බවද අනාවරණය වෙයි.

නිවසේ පිටත ඇති කාමරයක නිදා සිට ඇති මිහිරගේ මව දරුවන්ගේ කෙඳිරිල්ලක් හේතුවෙන් දොර විවෘත කර බලන විට දරුවන් ලේ විලක් මැද සිටින අයුරු දැක තිබේ. පසුව අවට පිරිස් සමග එක්ව දරුවන් වහා රෝහල් ගත කිරීමට ඇය කටයුතු කර ඇත.

සියදිවි නසා ගත් මිහිර ඊයේ සවස් කාලයේදී මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අනාවරණය වී තිබේ. අඩි 3ක් පමණ දිග පොල්ලක් සූදානම් කර එය නිවස පිටුපස සඟවා තිබී ඇති බවද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් එම අවස්ථාවේදීම මහනුවර මහා රෝහල වෙත එම දරුවන් දෙදෙනා මාරු කර යවා තිබේ. ඒ අනුව දරුවන් දෙදෙනා සහ දැරිය මේ වනවිට  මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ අතර තුවාල ලැබූ දැරියව රෝහලට රැගෙන ගිය අසල්වැසියෙක් සඳහන් කළේ, "ඔලුවලට ගහලා තියෙන්නනේ. දුව කතා කරනවා. එයා කියනවා.. මොනවා වුණාද දන්නේ නෑලු. තාත්තා නං ගැහුවේ නෑ කියලා. නිදියගෙන ඉද්දි ගහලා තියෙන්නේ."

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now