121 පෙට්‍රල් දෙනව කියන කතාව ඇත්තක්ද?..ගන්න පුලුවන් මේ අයටලු... බලශක්ති ඇමතිගෙනුත් ප්‍රකාශයක්..

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera
By Aruna May 19, 2022 06:20 AM GMT
Report

පවතින දැඩි ආර්ථික අපහසුතාවයන් හමුවේ බැට කන ජනතාවට ඉතාමත් අධික මිලකට පවා පෙට්‍ර්ල් ටිකක් භූමි තෙල් ටිකක් ලබා ගැනීමට දිවා රෑ නොබලා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් වල රැදී සිටීමට සිදුව ඇති පසුබිමක, ඉන්ධන පිරවුම්හල් මගින් සාමාන්‍ය ජනතාවට රු. 338 ක් වැනි මුදලකට පෙට්‍ර්ල් නිකුත් කරන අතර, එම මිලෙන් අඩකටත් වඩා අඩු මිළකට එනම් රු. 121.19 ක් වැනි මුදලකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය පිණිස ලබාදී ඇති වාහන සදහා නිකුත් කරන බවට අනාවරණය වන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් පවතිනවා.

වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනමය හා ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතු, ජනතාව දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින, කිසිදු වැදගැම්මකට නැති, මහජන මුදල් අන්තනෝමතික අන්දමින් පරිහරණය කරමින් තම සුඛවිහරණය පමණක් සිතමින් කටයුතු කරන පරපෝෂිතයන් රැලකගේ මෙවැනි අමන ක්‍රියාවන් හේතුවෙන් අසරණව සිටින ජනතාව තවත් කෝපාවිෂ්ඨ වනු ඇති බවටයි එම පුවත පැතිර යමින් පවතින්නේ.

කෙසේවෙතත් මීට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් අඩු මුදලට ඉන්ධන නිකුත් කරන බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කර සිටිනවා.

කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හෝ කිසිදු අයෙකුට වෙළෙඳපලේ පවතින මිලට අඩුවෙන් ඉන්ධන නිකුත් කර නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත් කරනු ලබන ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කිරීම සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපහසුතාවයට පත්කිරීමට හිතා මතාම මෙවැනි පුවත් ප්‍රචාරණය කරන බව පැවසූ බලශක්ති අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කතානායකවරයා මැදිහත්වී පියවර ගත යුතු බවයි වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now