අපරාධ බිය ගැන පොලීසියෙන් ප්‍රකාශයක්..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Sep 21, 2023 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ,සමාජයේ අපරාධ තුරන් කිරීම සඳහා යහපත් පුරවැසියන් ගේ සහයෝගය අවශ්‍ය බවයි.

නියෝජ්‍ය පොලිපතිවරයා සඳහන් කරන්නේ, සමාජයේ සිටිනා මිනිසුන් ගෙන් සියයට අනූ නවයක් යහපත් මිනිසුන් බවත් අපරාධ සිදු කරන්නේ, ඉතිරි සියයට එකක පිරිස බවත් ය.

එබැවින් සියයට අනූ අනුවයක පිරිසක ගේ නිහඬතාව දෙස බලාගෙන සියයට එකක පිරිස අපරාධ සිදු කරන බව ඔහු අවධාරණය කරයි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ පානදුර ප්‍රදේශයේ පාසලක උත්සවයක් අමතමිනි.

එහි දී නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ බිය යනු කුමක්දැයි හඳුන්වා දෙන ලදි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේ, පාරේ යන විට කිසිවකු විසින් තම මාලය සොරාගෙන යන්නේ ද රාත්‍රියේ සොරු පැමිණ නිවැසියන්ට ආයුධ පෙන්වා බය කර වස්තුව පැහැරගෙන යන්නෙ ද එවැනි දේ නිසා ඇති වන්නේ, අපරාධ බිය බවයි.

එසේම දිනපතා වාර්තා වන වෙඩි තැබීම් මනුෂ්‍ය ඝාතන ආදී සමස්තය මෙම අපරාධ බිය ඇති වීමට හේතුව බව ද ඔහු අවධාරණය කළේය.

එම අපරාධ බිය තුරන් කිරීම පොලීසියේ වගකීම බවත් මෙම අපරාධ සඳහා ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වන මානසික විකෘතිය, ඇබ්බැහි වීම හේතුවෙන් පුද්ගලයන් සොරකමට, මංකොල්ලකෑමට, මිනී මැරීමට නැඹුරු වන බව ඔහු සඳහන් කරයි. සමාජයේ සිදු වන මිනී මැරුම්වලින් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන ඒවා බව ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මිනී මැරුම් මෙන්ම කාම අපරාධ සඳහා ද මත්ද්‍රව්‍ය හේතු වන බවත් විශේෂයෙන් මත්කුඩු ඒ සඳහා හේතු වන බවත් ඔහු අවධාරණය කරයි. පන්සිල් පද පහ ආරක්ෂා කිරීමෙන් සමාජයේ සිදු වන අපරාධ බොහෝමයක් වළක්වා ගත හැකි බව ද බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.