නිදහසින් පසු මහ බැංකුව පිහිට වූ දා සිට මෙරට ‌භාවිත කල මුදල් ඒකකය පිලිබද ඔබ දැනුවත්ද..?

By Subodha Aug 16, 2022 04:27 AM GMT
Subodha

Subodha

in රචනා
Report

මානව ශිෂ්ටාචාරයේ ක‍්‍රමික දියුණුවත් සමග මුදල් භාවිතය ඇරඹිණි. මුල් යුගයේ දඩයම් සංස්කෘතියක් පැවති මානව ශිෂ්ටාචාරයට මුදලේ අවශ්‍යතාවයක් නොවීය. නමුත් නියොලිතික සමයේ මානව ශිෂ්ටාචාරයේ ඇති වූ ප‍්‍රගමනයත් සමග මුදල් භාවිතයේ අවශ්‍යතාවය ඇති විය. ඒ අනුව ප‍්‍රථමයෙන්ම මානවයා භාණ්ඩ හුවමාරු ක‍්‍රමය ආරම්භ කළහ. කාලයාගේ ඇවෑමෙන් මේ ක‍්‍රමයේ ඇති වූ යම් යම් දුෂ්තරතා නිසා මේ ක‍්‍රමය දුරස්ථ විය. ඉන් පසු මානවයා කාසි පරිහරණය සඳහා පෙළඹිණි.

භාරතයේ මෙන්ම ලංකාවේ ද මුලින්ම භාවිත වූයේ හසු එබූ කාසිය. එය ක‍්‍රි.පූ. තුන්වන සියවසේ සිට ශ‍්‍රී ලංකාවේ භාවිතය ආරම්භ වන්නට ඇති බව එච්. ඇම්. සිරිසෝම වැනි විද්වතුන්ගේ අදහසයි. එතැන් පටන් ශ‍්‍රී ලංකාව තුළ විවිධ කාසි සහ මුදල් ප‍්‍රභේද භාවිත විය. ඒ ආකාරයට භාවිත වූ කාසි සහ මුදල් පිළිබඳව බොහෝ සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් වේ. මෙම ලිපියේ දී අපි අද කතා කරන්නේ නිදහසින් පසු යුගය, මහ බැංකුව පිහිට වූ දා සිට මෙරට භාවිතා කල මුදල් ගැනයි.

1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි ඇති කොන්දේසි වලට අනුව 1950 අගෝස්තු 28 වන දින මහ බැංකුව පිහිටුවන ලදී. අනෙකුත් කාර්යයන් අතර නෝට්ටු සහ කාසි යන දෙ වර්ගය ම ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලයක් ස්ථාපනය කිරීමට මුදල් නීති පනත අවකාශ සැලසුවේ ය.

ලංකාව තුළ ඉංග්‍රීසීන් විසින් නිකුත් කළ නෝට්ටු 1951 වන තුරු ද කාසි 1963 වන තුරු ද භාවිතා කරන ලදී. පළමුවන කාසි කාණ්ඩය හඳුන්වා දෙන ලද්දේ 1963 දී ය. මෙම කාසි කාණ්ඩයේ මුහුනත මඟින් ලංකාවේ රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදී. මෙම කාණ්ඩය පහත සඳහන් කාසිවලින් සමන්විත විය.

  • ශතය (ඇලුමිනියම්)
  • ශත දෙක (ඇලුමිනියම්)
  • ශත පහ (පිත්තල)
  • ශත දහය (පිත්තල)
  • ශත විසි පහ (තඹ/නිකල්)
  • ශත පනහ (තඹ/නිකල්)
  • රුපියල (තඹ/නිකල්) 

1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක් නිකුත් කරනු ලැබ ඇත.

  • 1951 වර්ෂයේදි හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය රුපියල් 1 සහ 10 යන වටිනාකමින් නිපදවිය
  • 1952 වර්ෂයේදි දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය රුපියල් 1, 2, 5, 10, 50 සහ 100 යන වටිනාකමින් නිපදවිය
  • 1956 වර්ෂයේදි ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 1, 2, 5, 10, 50 සහ 100 යන වටිනාකමින් නිපදවිය
  • 1962 වර්ෂයේදි එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 1, 2, 5, 10, 50 සහ 100 යන වටිනාකමින් නිපදවිය
  • 1965 වර්ෂයේදි පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය රුපියල් 1, 2, 5, 10, 50 සහ 100 යන වටිනාකමින් නිපදවිය
  • 1975 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 50 සහ 100 යන වටිනාකමින් නිපදවිය
  • 1979 වර්ෂයේදි සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 2, 5, 10, 20 ,50 සහ 100 යන වටිනාකමින් නිපදවිය
  • 1981 වර්ෂයේදි ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය රුපියල් 5, 10, 20, 50, 100, 500 සහ 1000 යන වටිනාකමින් නිපදවිය
  • 1987 වර්ෂයේදි ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය රුපියල් 500 සහ 1000 යන වටිනාකමින් නිපදවිය
  • 1991 වර්ෂයේදි වර්ෂයේදි ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 10, 20, 50, 100, 500, 1000 යන වටිනාකමින් නිපදවිය
  • 2005 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය රුපියල් 2000 යන වටිනාකමින් නිපදවිය
  • 2011 වර්ෂයේදි සංවර්ධනය සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් රුපියල් 20, 50, 100, 500, 1000, 2000 සහ 5000 යන වටිනාකමින් නිපදවිය 


රුපියල් පහ සහ රුපියල් දෙක නෝට්ටු වෙනුවට 1984 දී රුපියල් පහ (නිකල්/පිත්තල) සහ රුපියල් දෙක (තඹ/නිකල්) කාසි හඳුන්වා දෙන ලදී. 

2005 වසරේ දී, කාසිවල බර සහ ලෝහ මිශ්‍රණය වෙනස් කරමින් රුපියල් 5 සහ රුපියල් 2 සඳහා සංසරණය පිණිස නව කාසි කාණ්ඩයක් මහ බැංකුව නිකුත් කළේ ය. මේ සමග ම රුපියල, ශත 50 සහ ශත 25 කාසි නිකුත් කරන ලද්දේ ප්‍රමාණය, ලෝහ මිශ්‍රණය, බර සහ පැහැය වෙනස් කිරීමෙනි. මෙම නව කාසි එවකට සංසරණයේ පැවතුණු කාසි සමඟ සමගාමී ව සංසරණය කරන ලදී. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now