ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (02) සහ හෙට (03) යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා එමිරාටීකරණ අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan සහ ආර්ථික හා සංචාරක අමාත්‍ය Abdulla bin Touq Al Marri ඇතුළු අමාත්‍යවරුන් සමඟ දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
මේ අතර, අද (02) ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියර සඳහාද අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිතය. එම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය Thani bin Ahmed Al Zeyoudi මහතාද සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම නිල සංචාරය තුළින් දෙරට අතර ආර්ථික, විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට අවධානය යොමු කෙරෙනු ඇත.