දියවන්නා ඔයේ ජල දූෂණය පාලනයට ජාතික වැඩපිළිවෙළක්

Water Board Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 02, 2026 11:52 AM GMT
Report

දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිත ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන එය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව සලකා බැලීය.

එම වාර්තාවට අනුව, දියවන්නා ඔය සහ පාර්ලිමේන්තුව ආශ්‍රිත ජල පද්ධතියට ගෘහස්ථ අපජලය, වාණිජ හා කාර්මික අපද්‍රව්‍ය එක්වීම ප්‍රධාන ජල දූෂණ මූලාශ්‍ර ලෙස හඳුනාගෙන තිබේ.

ඒ සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන අදියර තුනකින් සමන්විත කළමනාකරණ සැලැස්මක්ද යෝජනා කර ඇත.

අපද්‍රව්‍ය සෘජුව ජල මාර්ගවලට එක්වන ස්ථාන හඳුනාගෙන පාලනය කිරීම, ඝන අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම, අපජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම එම වැඩපිළිවෙළේ ප්‍රධාන කරුණු අතර වේ.

එමෙන්ම, අඩු ආදායම්ලාභී ජනාවාසවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

දියවන්නා ඔය ඇතුළු ප්‍රදේශයේ ජල දූෂණය පාලනය කිරීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන අදාළ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද කාරක සභාව අවධාරණය කර තිබේ.