"ස්ප්‍රයිස් එකක් දෙන්න ඇස් දෙක ලේන්සුවෙන් වහලා පිහියෙන් ඇනලා" සරසවි පෙම්වතාගේ පාපොච්චාරණය

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi Jan 19, 2023 05:37 AM GMT
Report

තුරඟ තරග පිටියේදී කොළඹ සරසවි සිසුවිය ඝාතනය කළ ආකාරය සැකකාර සිසුවා පොලිසියට පවසා තිබෙනවා.

විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් "චූටි" නමින් ආමන්ත්‍රණය කරන පෙම්වතියට පැවසා ඇය සමඟ කොළඹ තුරඟ තරග පිටියට පැමිණි බවයි සැකකාර තරුණයා ප්‍රකාශ කර ඇත්තේ.

2019 වසරේ සිට තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ඝාතනයට ලක්වූ තරුණිය සමඟ අදාළ තරුණයා 2020 වසරේ සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණද ඔහු එලෙස තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව ඇයට පවසා නැහැ.

මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව තම පෙම්වතිය දැනගත් බවත්,"ඇය මට නිතරම "පිස්සා" කියලා බනින බවත්, පසුව ඇය තමන් සමග අමනාප වූ බවත්, ආදර සම්බන්ධය නතරකළ බවත්, සැකකාර තරුණයා සිය පාපොච්චාරණයේදී පොලීසියට පවසා තිබෙනවා.

මේ අතර තම පෙම්වතිය වෙනස් වූයේ වෙනත් සම්බන්ධයක් හේතුවෙන් දැයි තමන් සොයා බැලූ බවත් ඇයට එවැනි සම්බන්ධයක් නොතිබූ බව අනාවරණය වූ බවත් සැකකාර පෙම්වතා සිය කට උත්තරයේදී පවසා ඇත.

එහිදී වැඩිදුරටත් ඝාතන සිදුවීම පිළිබඳව කට උත්තරය ලබාදෙමින් සැකකාර තරුණයා පවසා ඇත්තේ තමන්ට අහිමි වූ ඇය වෙනත් අයෙකුට හිමිවීම වැළැක්වීමට ඇයව ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බවයි.

පසුගිය සෙනසුරාදා දිනයේ නැවත වරක් තමන් සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුවූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා ඇති අතර ඒ අනුව ඝාතන සැලැස්මේ පළමු පියවර ලෙස ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් රුපියල් 140ක මුදලකට පිහියක් මිලදී ගත් බවද තරුණයා හෙළිදරව් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ තමන් අඟහරුවාදා දිනයේ එම පිහියද බෑගයේ දමාගෙන සිය නිවසේ සිට පැමිණි බවයි.

විශ්වවිද්‍යාලයේ උදෑසන පළමු දේශනයට සහභාගීවීමෙන් අනතුරුව "විශේෂ කතාවක් තියෙනවා තුරඟ තරග පිටියට යමුද කියලා මම චූටිට කිව්වා" සැකකාර තරුණයා පවසා ඇත.

ප්‍රථමයෙන් තරුණිය එයට අකමැත්ත පළකළද පසුව තමන් බලකළ නිසා ඇය කැමති වූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

එහිදී "මම ඔයාව පුදුම කරනවා" යනුවෙන් පවසා සැකකාර තරුණයා විසින් ඝාතනයට ලක්වූ තරුණියගේ දෑස් ලේන්සුවකින් බැඳ පිහියෙන් ගෙළට ඇන ඝාතනය සිදුකළ බව පොලීසියට පවසා ඇත.

එහිදී ඝාතනයට ලක්වූ තරුණිය කෑ ගසා ලේන්සුව දෑස්වලින් ඉවත්කර උදව් ඉල්ලූ බවත් එහිදී තමන් තවත් පිහි පහරක් ඇයගේ ගෙළට එල්ලකළ බවත්, එම ස්ථානයේ සිටි පිරිස් ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණේ යැයි බියෙන් තමන් එම ස්ථානයෙන් දිවගිය බවත් ඔහු පවසනවා.

"පළායන මොහොතේ මම චූටි දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ චූටි කිසිදු හැලහොල්මනක් නැතුව වැටිලා හිටියා." තරුණයා එලෙස සිය වචනයෙන් පොලීසියට පවසා ඇත.

තමන් එම ස්ථානයෙන් කෙළින්ම වැල්ලම්පිටියට ගිය බවත් දුම්රියක් පැමිණෙන තුරු බලා සිටියද දුම්රියක් නොපැමිණීම හේතුවෙන් දෙවරක් සියදිවි හානිකරගැනීම සඳහා කැලණි ගඟට පැන්න බවද සැකකාර තරුණයා සිය කට උත්තරයෙන් පොලීසියට පවසා තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW