තවත් බිහිසුණු බස් රථ අනතුරක්..දෙදෙනෙක් මියයයි..29ක් රෝහලේ.(PHOTOS)
වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බස් රථයක් අඹන්පොළදී නවතා තිබූ කන්ටේනර් ට්‍රක් රථයක ගැටී දෙදෙනෙකු මරණයට පත්වී තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙම අනතුරින් 29 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 6ක් හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ද ප්‍රතිකාර ලබ බවයි වාර්තා වන්නේ.
තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර, මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථයක් පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙහිදී තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්විය.
සිදුවීම සම්බන්ධව පොලීසිය සැකපළ කරන්නේ, බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි.
මෙම බස්රථ අනතුරෙන් අතුරුදන් වූවන් ඇත්දැයි සොයා බසය ඔයට පෙරළුණු ස්ථානයේ කිමිඳුම්කරුවන් විසින් මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බව, අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර අනතුරටපත් බස් රථය ඊයේ (09) රාත්‍රියේ ම දොඹකර ආධාරයෙන් ඔයෙන් ගොඩට ගැනුණා.
මේ අතර පූඩළුඔය දුනුකේදෙණිය - මඩකුඹුර මාර්ගයේ දි බස් රථයක් බෑවුමකට පෙරළි සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.
පොලිස් මුලස්ථානය පැවසුවේ, තලවකැලේ ප්‍රදේශයේ පිහිටි වතුයායක සේවය කරන වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෑවුමකට පෙරළ අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබු පිරිස් ප්‍රතිකාර සඳහා කොත්මලේ සහ මල්දෙණිය යන රෝහල් වෙත ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.
අඹන්පොළ බස් රථ අනතුරට අදාල ඡායාරූප පහතින්,