ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Anura Kumara Dissanayaka India Latest Headlines Sinhala news Colombo politics heat up
By R.rishma Sep 09, 2026 09:11 AM GMT
Report

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුවේදී දෙරටට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතව තිබේ.

මේ අතර, පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තැබූ ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස සැලකේ.