ප්‍රබල පිපීරීමකින් 25ක් මරුට..450කට වැඩි පිරිසක් තුවාල ලබයි..කිලෝමීටර් 4ක හානි.(PHOTOS)

Bangladesh
By Aruna Jun 05, 2022 07:08 AM GMT
Report

බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 25 දෙනෙක් මියගිගොස් තිබෙනවා.

තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පිපිරීම සිදුවූයේ බංග්ලාදේශයේ ගිණිකොණ දෙසින් පිහිටි සීතාකුණ්ඩා නගරයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයකයි.

පළමුවෙන් ගබඩා සංකීර්ණයේ ගින්නක් හටගත් බව පැවැසෙන අතර, ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් කීපයක් කැඳවන ලදී.

ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙද්දී ප්‍රබල පිපිරීම සිදුවිය. පිපිරීම සිදුවන්න ඇත්තේ කන්ටේනර් පෙට්ටිවල අසුරා තිබූ රසායනික ද්‍රව්‍ය නිසා යැයි පැවැසෙයි.

ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැත. ඒ, සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.

මියගිය සහ තුවාල ලැබූවන් අතරේ ගිනි නිවන භටයන් කීප දෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් විසි දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඇතැමුන්ගේ සිරුරු සියයට 60 කට වඩාත්, තවත් සමහරුන්ගේ සිරුරු සියයට 90 කට වඩාත් පිළිස්සී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පවසා ඇත.

සීතාකුණ්ඩා නගරය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන චිතගොංග් නගරයට කිලෝ මීටර් 40 ක් දුරිනි.

බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සියලු දෙනා චිතගොංග් නගරයේ රෝහල් වෙත රැගෙන ගිය බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

ගබඩා සංකීර්ණයේ පිපිරීම අති ප්‍රබල එකක් වූ අතර කිලෝ මීටර් 4 ක් දුරට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද එයින් හානි සිදුවුණු බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery