ඊයේ රාත්‍රියේ පිරිසකට එල්ල වූ වෙඩි වර්ෂාවට හේතුව හෙළිවෙයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Sep 21, 2023 02:13 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (20) රාත්‍රියේ අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

දැනට ඩුබායි හි රැඳීසිටින 'මන්නා රමේෂ්' නම් අපරාධකරු විසින්, යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇති බවට සැක පළ කරනවා.

ඊයේ (20) රාත්‍රී 11.15ට පමණ අවිස්සාවේල්ල, තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. එහි ඉලක්කය වී තිබුණේ ත්‍රීරෝද රථයකින් අවමගුල් උත්සවයකට යමින් සිටි පිරිසකි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ඔවුන් වෙතට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 25ක් පමණ තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඉන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිටි බවයි, පොලීසිය පැවසුවේ.

එලෙස ඝාතනයට ලක්වී තිබුණේ ඉෂංක චාමික නමැති 27 හැවිරිදි තරුණයෙක් සහ ධනුෂ්ක ප්‍රේමලාල් හෙවත් 'පුතා' නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බවය.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ බවට පොලීසිය සැකකරන අවන්ත ඉරෝෂන නමැත්තාගේ පාදයට පමණක් එහිදී වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

ඔහුගේ පාදයට වෙඩි ප්‍රහාර 05ක් පමණ එල්ලවී ඇති බවයි පොලීසිය පැවසුවේ.තුවාල ලැබූ සෙසු පුද්ගලයාගේ මුඛයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර ඉන් ඔහුගේ දත් කිහිපයක් කැඩී ගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් පාදය තුවාල ලැබූ අවන්ත ඉරෝෂන නමැත්තා ඉලක්ක කරගෙන මන්නා රමේෂ්ගේ පාර්ශ්වය මීට පෙරද වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේදීද තුවාල ලබා දිවිබේරා ගැනීමට ඔහු සමත්වී තිබුණි.

තුවාල ලැබූ පුද්ගලයා මන්නා රමේෂ්ගේ සහෝදරයාට පරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකෙරෙයි.