අටලුගම දැරියගේ ඝාතකයාට ලැබුණු අධිකරණ නියෝගය

Sri Lanka Police Sri Lanka Atulugama Child Murder
By Sithumi May 31, 2022 12:32 PM GMT
Report

බණ්ඩාරගම අටුලුගම පාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුව හෙට (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (30) අත්අඩංගුවට ගත් අදාළ සැකකරුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගැනීමේ නියෝග ගෙන තිබුණි.

ඒ අනුව 'කොත්තු බාස්' නමින් හඳුන්වන සැකකාරව අද (31) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. පානදුර මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා විසින් අදාළ නියෝගය නිකුත් කර තිබුණි.

අටුලුගම පදිංචිව සිටි සැකකරු ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියෙකි. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම, අයුතු අවහිරය, ලිංගික අතවර කිරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම සහ සාපරාධි බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ  අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ සැකකරු වෙනුවෙන් පානදුර නීතිඥ සංගමයේ නීතිඥවරයෙකු හෝ වෙනත් කිසිදු නීතිඥවරයකු ඉදිරිපත්වී නොසිටි බවය.

නිවස ආසන්නයේ වෙළෙඳසැළකින් කුකුළු මස් මිලදී ගෙන නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී එම දැරියව පැහැරගැනීමට ලක්වී තිබුණි. පසුව නිවස සහ වෙළෙඳසැළ ආසන්නයේ කැළෑබද ප්‍රදේශයක මඩ වගුරක තිබියදී දැරියගේ සිරුර සොයා ගැනුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now