සිසුන්ට පහර දුන් ඇමති අරුන්දික ගේ පුත් අත්අඩංගුවට.
වෛද්‍ය පීඨයේ ඊයේ (02) උදෑසන ශිෂ්‍ය නේවාසිකාගාරයකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාර වී තිබෙනවා.
මෙම පුද්ගලයා නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ දී පොලිසීය වෙත භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම මෙම පහර දීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් භාරයට ගත්තා.
සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර, හෙතෙම වලව්වත්ත - දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ අනුව අදාළ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 07ක් වන අතර, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
මේ අතර, විධිමත් පරීක්ෂණයකින් අනතුරුව තමන් නිදොස් යැයි ඔප්පු වන තෙක් සිය ධුරයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වනවා.
ඊයේ (02) පෙරවරුවේ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2 ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරුණා.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 6 දෙනාගෙන් 5 දෙනෙකු අද (03) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර, මෙම සිද්ධියට විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න හට නියෝග කළා.
ඒ අනුවයි පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කළේ.
එමෙන්ම මෙම ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් පවතින බව පවසමින් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ද ඊයේ (02) පස්වරුවේ විවේචනාත්මක ලිපියක් යොමු කළ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සාධාරණාත්මක අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද ඉල්ලීමක් සිදු කෙරුණා.
මේ අතර, අදාළ සිද්ධියට තමන් සම්බන්ධ බවට විධිමත් පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
සිද්ධියට අදාළව මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවෙකු ඇතුළුව 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව, එම සිසුවා හැර අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු අද (03) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පෙරේදා මධ්‍යම රාත්‍රියේ (01) සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.
මෝටර් රථ දෙකකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ එහි පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
පහරදිමෙන් තුවාල ලැබු සිසුන් 04 දෙනාගෙන් තුන්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එක් සිසුවෙකු මීගමුව මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව කළා.
පහරදීම සඳහා එම පිරිස පැමිණි එක් මෝටර් රථයක් සිසුන් විසින් නේවාසිකාගාර භූමිය තුළ රඳවා තබා ගෙන තිබූ අතර, පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ මෝටර් රථය තම භාරයට ගනු ලැබුවා.
එහිදී අනාවරණ වූයේ ඩබ්ලිව්.පී.කේ.අයි.2376 අංකය සහිත එම මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් එකක් බවයි.
මෝටර් රථය මෙම වසර සඳහා ලියාපදිංචි නොකළ එකක් බවට ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.
මේ අතර, අදාළ ශිෂ්‍ය නේවාසිකාගාර භූමියෙහි තිබී මුදල් පසුම්බියක් හමු වී ඇති අතර එය පහරදීමට පැමිණි පුද්ගලයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.
එහි තිබී පොල් සංවර්ධන සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු බවට සඳහන් පුද්ගල හැඳුනුම්පතක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අරුන්දික ප්‍රනාන්දු මේ වනවිට කටයුතු කරන්නේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අදාළ පහරදීමේ සිද්ධියෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන තුන්වන වසරේ වෛද්‍ය සිසුවෙකුගේ සුවදුක් විමසීම සඳහා ද රෝහලට පැමිණියා.
එහිදී රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යයාගේ මව වන, විශේෂඥ වෛද්‍ය කේ.ඩී.සී. පරණවිතාන මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි අතර ඇය එහිදී කියා සිටියේ සිසුන් අතර පවතින ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා.
පොලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒම හා රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම අමාත්‍යවරයාට මෑතකදී එල්ලවූ ප‍්‍රබල චෝදනා ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුරු තහවුරු කළ නොහැකි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
