බුකිය කැළඹෙන පෝස්ට් දැමූ සරසවි සිසුවාට අවසානයේ අත්වූ ඉරණම මෙන්න..

Sri Lanka Education Social media Princess Anurudda Bandara Campus student
By Aruna Apr 03, 2022 12:43 AM GMT
Report

පැහැරගැණුනු බවට සමාජ මාධ්‍යයේ පළ වූ අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

අදාළ තරුණයා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරීව අදහස් පළ කළ අයෙක්.

අනුරුද්ධ බණ්ඩාර නම් මෙම විශ්වවිද්‍යාල සිසුවා පෙරේදා (01) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගිය බවට සමාජ මාධ්‍යයේ විවිධ වාර්තා පළ වී තිබුණා.

සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් කණ්ඩායමක් විසින් මෙම තරුණයා රැගෙන ගොස් ඇති බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර එහි සඳහන් වූයේ මධ්‍යම රාත්‍රී 12.15ට සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදර පොලිසියේ යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් අනුරුද්ධ පැහැර ගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයාව සිය භාරයට ගෙන ඇති බවයි. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම තරුණයාට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස පොලිසියට දැනුම් දී තිබුණා.

එම කොමිසම සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120වැනි වගන්තිය යටතේ පොලිසිය අදළා තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව අනුරුද්ධ බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළබවීම් ඇති කිරීමයි.

අත්අඩංගුවට ගත් තරුණයාගේ පියා ද ඔහු රදවා සිටින මෝදර පොලිසියට පැමිණ තිබුණා. පොලිස් අත්අඩංගුවේ පසුවන අනුරුද්ධ බණ්ඩාරට නීතී සහය ලබා දීම සඳහා පස්වරු 2ට පමණ නීතිඥවරුන් පිරිසක් මෝදර පොලිසියට පැමිණ තිබිණා.

මනූෂ නානායක්කාර සහ හර්ෂ ද සිල්වා යන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ද මෝදර පොලිසියට පැමිණියා.

මේ අතර අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෝදර පොලිසිය ඉදිරිපිට පිරිසක් නිහඬ විරෝධතාවක් ද පැවැත්වුණා.

පස්වරු 5.30 ට මණ අදාළ තරුණයාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අතර මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම තරුණයාව අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත්කරන බවට පොලිසිය කළ දැනුම්දීමක් අනුව නීතිඥයින් බොහෝ පිරිසක් එම උසාවි සංකීර්ණයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පස්වරු 7.40ට පමණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.

ඒ සමාජ මාධ්‍ය ජාලා මඟින් මහජනයා කැළඹීමට පත්වන ආකාරයේ පුවත් පළ කල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම යන ලිපි ශීර්ෂය යටතේයි.

එහි සඳහන් වන්නේ අදාළ තරුණයා ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේදී ඊයේ අළුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු පදිංචි පොලිස් වසමේ පිහිටි පොලිස් ස්ථානයේ නිලධාරීන්ද සමඟ නිල ඇඳුමින් ගොස් ඔහුගේ නිවසේදී ඥාතීන් ඉදිරිපිට නීත්‍යානුකූල ලෙස ඔහුව අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අත්අඩංගුවට ගත් තරුණයා කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේවන්තුවේද සහය ලබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now