ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් හදිසි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTOS)

Sri Lanka Bar Association of Sri Lanka
By krishani May 06, 2022 11:41 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ලැබිණී.

1959 අංක අට දරණ පනතින් සහ ජාතික ආරක්ෂක සභාවේ 1978 අංක හය දරණ පනතින් මෙන්ම 1988 අංක 28 දරණ පනතින් මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියට අනුව මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රට තුළ හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කර ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගැනීම සඳහා හදිසි නීතිය අවස්ථානුකූල යැයි හැඟීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊට අදාළ ව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ පවතින වත්මන් තත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බවයි. එමෙන්ම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇති බව ද ඔවුන් සඳහන් කළා.

ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන අතර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGallery