රෝහල් සේවකයින් පහර දී සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් එළියට - CCTV දර්ශන වලින් හෙළිවූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 29, 2023 03:49 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ලබන මස 10 වැනිදා දක්වා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මානසික රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු වී ඇති බැවින් ඊට සම්බන්ධ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වැඩ තහනම් කර ඇති බවයි බවයි රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඔසී නානායක්කාර නමැති එක්දරු පියෙක් පසුගිය 25 වැනිදා මියගොස් තිබේ. 

එනම් මෙහිදී, රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට පවසා තිබුණේ නාන කාමරයේ ඇද වැටී රෝගියා මියගිය බවය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, පහරදීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින් මරණය සිදුව ඇති බවය.

රෝගියාගේ පවුලේ ඥාතීන් පවසන්නේ, මානසික රෝගයකින් පෙළුණු සිය ඥාතියා රෝහලේ සුළු සේවකයින්ට කළ වතුර ඉසීමක් මුල්කරගෙන ගැටුම හටගෙන ඇති බවයි. මෙම මරණය සම්බන්ධයෙන් රෝගියාගේ ඥාතීන් මුල්ලේරියාව පොලීසියට පැමිණිලි කර තිබූ අතර ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹුණි.

ඒ අනුව, ඊයේ(28) රාත්‍රියේ සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැණුනේ අද උදෑසනය.

ඔවුන් සිව්දෙනා අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. රෝගියාගේ ඥාතීන් පැවසුවේ, පෞද්ගලික ආයතනයක වසර 28ක පමණ කාලයක් සේවයකළ මොහු වරින් වර අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගත් බවය.

නමුත්, බිරිඳගේ වියෝවත් සමග ඔහු නිසි පරිදි ඖෂධ ලබාගෙන තිබුණේ නැත. ඒ හේතුවෙන් යළි රෝගී තත්ත්වය උත්සන්න වී පසුගිය 20 වැනිදා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය අද කරුණු පැහැදිළි කරමින් පැවසුවේ,

"මේක සේවකයින් කිහිපදෙනෙකුගේ හැසිරීමේ වරදක්. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය පහරදීමක් නිසා සිදුවෙලා තියෙනවා. සේවකයින් පහරදෙන බව CCTV දර්ශනවලින් ඔප්පු වුණා. ඒ පහරදුන් සේවකයින්ගේ වැඩ තහනම් කළා." යනුවෙනි.

මේ අතර මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ඒ සඳහා පත්කළ විශේෂ කමිටුව මේ වනවිටත් අදාළ රෝහලට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට අදාළව කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු රෝහල් ප්‍රධානීන්ගෙන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.