මිනිත්තු 10කින් ඉරානයේ ඉතිරි ඉලක්ක විනාශ කළ හැකියි - ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

Donald Trump Iran Latest Headlines Sinhala news Iran-US Conflict
By R.rishma Nov 01, 2026 02:07 PM GMT
Report

ඉරානයට එල්ල විය හැකි නව එක්සත් ජනපද ප්‍රහාරයක් සම්බන්ධයෙන් මැදපෙරදිග කලාපයේ ආතතීන් ඉහළ යමින් පවතින පසුබිමක, ඉරානය තුළ පහරදීමට ඉතිරිව ඇත්තේ ඉලක්ක එකක් හෝ දෙකක් පමණක් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එම ඉලක්ක විනාශ කිරීමට මිනිත්තු 10ක් පමණක් ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කර ඇත.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ එක්සත් ජනපදය මේ වන විටත් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කර ඇති බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ 'පිකැක්ස් කන්ද' ප්‍රදේශය ද තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට නියමිත ඉලක්ක අතර පවතින බව ඔහු සඳහන් කර තිබේ.

මේ සතිය තුළ ඉරානයට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් පවසා ඇත්තේ එවැනි සැලසුමක් පැවතියද ඒ පිළිබඳව කල්තියා මාධ්‍යයට දැනුම් නොදෙන බවයි.

කෙසේ වෙතත්, ඉරානය සමඟ පවතින සාකච්ඡා යහපත් ලෙස ඉදිරියට යමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කර ඇති අතර, ඉරානයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සිය අතෘප්තිය ද පළ කර තිබේ.

මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි එරට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සමඟ විශේෂ උපදේශන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ඕනෑම තර්ජනයකට ක්ෂණිකව සහ දැඩි ලෙස ප්‍රතිචාර දක්වන ලෙස ඔහු සන්නද්ධ හමුදාවලට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ. එමෙන්ම, භූගෝලීය සීමාවන් නොසලකා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටිය යුතු බව ද ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කර තිබේ.

එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි නව ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය නිකුත් කර ඇති දැඩි ප්‍රකාශ හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය යළිත් උණුසුම් වී තිබේ.