දැදුරු ඔය පිටාර ගැලීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට දැඩි බාධා

Floods In Sri Lanka Irrigation Department Rain Sinhala news Flood
By R.rishma Nov 03, 2026 03:53 AM GMT
Report

දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම කොටසේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ සිට ධාවනය වන දුම්රිය කුරුණෑගල දක්වා පමණක් ධාවනය කෙරෙන අතර, යාපනයේ සිට පැමිණෙන දුම්රිය මහව දක්වා පමණක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ අතර, ඊයේ (02) දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පවතින වර්ෂාපතනය හේතුවෙන් තවත් ජලාශ කිහිපයක ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බවයි.