කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක් - අද පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දේ මෙන්න

Parliament of Sri Lanka Sri Lanka Parliament Latest Headlines Sinhala news Colombo politics heat up
By R.rishma Nov 03, 2026 04:04 AM GMT
Report

අද (03) සිට ලබන 6 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව, අද දිනයේදී 1983 කළු ජූලි ඛේදවාචකය සහ එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික සහජීවනය තහවුරු කිරීම සහ එම ඛේදවාචකයෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීම සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම විශේෂ කාරක සභාවේ අරමුණ වී තිබේ.

මීට අමතරව, අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය පැවැත්වීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීම සිදු නොවන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

එම යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණද, එලෙස සංශෝධිත යෝජනාවක් නැවත ඉදිරිපත් කර නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.