මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ තවත් සීසීටීවී දර්ශන එළියට..(CCTV VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කටයුතු කර තිබේ. සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි.
මේ අතර එම පහරදීමට අදාළ නවතම වීඩියෝ දර්ශන පෙළක් නිකුත්වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා පසුගිය 09 වනදා නිට්ටඹුවේදී ඇතිවූ කලහකාරී සිදුවීමක් අතරතුර පිරිසකගේ පහරදීමකින් ඝාතනයට ලක්වුණි.
එම සිදුවීමට අදාළ නවතම CCTV දර්ශන පෙළක් අද අප වෙත ලැබී තිබුණි. එහි දැක්වෙන ආකාරයට පිරිසක් මන්ත්‍රිවරයා ගමන් කළ මෝටර් රථය මාර්ගයේ නවත්වාගෙන සිටියදී රතු පැහැති කමිසයක් හැඳ සිටි පුද්ගලයෙක් පොල්ලක් ද රැගෙන මන්ත්‍රීවරයාගේ රථය දෙසට ගමන් කරයි.
පසුව රථයේ පසුපස අසුනෙහි සිටි ආරක්ෂක නිලධාරියා බිමට බස්සවා පහරදීමක් සිදුකරයි. අනතුරුව තවත් අයෙක් පැමිණ මන්ත්‍රිවරයා ඉදිරිපස අසුනෙන් බස්සවා ගැනීමට උත්සාහ කරයි. ඒ අතරතුර තවත් පිරිසක් මන්ත්‍රිවරයාව රැගෙනවිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අයුරු වීඩියෝවල දැක්වෙයි.
එම අවස්ථාවේදී, පළමු රූප රාමු පෙළෙහි සිටි රතු පැහැටි ටී ෂර්ටයක් හැඳගෙන සිටි පුද්ගලයා නැවත පැමිණ මන්ත්‍රීවරයාට අමානුෂික ලෙස පොල්ලකින් පහරදීමක් සිදුකරයි. එම අවස්ථාවේදී පසෙක සිටි මන්ත්‍රී ආරක්ෂකයාව වෙනත් පුද්ගලයෙකු විසින් මන්ත්‍රීවරයා සිටි ස්ථානයට ගෙනැවිත් හරින අතර ආරක්ෂක නිලධාරියා කිහිප වරක් සිය ගිනි අවිය පිටතට ගැනීමට උත්සාහ කළ ද එය භාවිත නොකරන අයුරු දිස්වෙයි.
එම අවස්ථාවේදී ද තත්ත්වය පාලනය කිරීමට පෞද්ගලික ආරක්ෂක නිලධාරියා උත්සාහ දරන අතර සුදු පැහැති හිස් ආවරණයක් පැලඳි පුද්ගලයෙක් ඒ අතරතුර මන්ත්‍රීවරයාට පහරදෙන අයුරු දැක්වෙයි. අනතුරුව මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා එම ස්ථානයෙන් පළා යයි. ඒ අනුව දෙදෙනා මෙලෙස දිව යන්නේ නිට්ටඹුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලකටය.
එහි වූ විදුලි සෝපානයෙන් ඉහළ මහළට ගොස් මන්ත්‍රිවරයා සහ ආරක්ෂක නිලධාරියා සැඟව සිටින අවස්ථාවේදීයි පිරිසක් පැමිණ දෙදෙනාට යළි පහර දී ඝාතනය කර තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් හා සංවිධානාත්මක මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධියට අදාළව තවත් ප්‍රධාන සැකකරුවෙකුව අද අත්අඩංගුවට ගත්තේය.
එලෙස අත්අඩංගුවට ගන්නේ එදින රතු පැහැති කමිසයකින් සැරසී සිටි සහ මන්ත්‍රීවරයාට පළමුව පහරදුන් පුද්ගලයාවය. බස් රථ රියදුරෙක් වන සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. ඔහු සිද්ධියෙන් පසු සැඟව සිට ඇති අතර පොලීසිය විසින් සිදුකෙරුණු පුළුල් මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |