ගමක් කම්පාකළ ඛේදවාචකය - තවත් සිසුවෙකුගේ සිරුර හමුවෙයි

Galle Sri Lanka Sri Lanka Navy Accident
By Sewvandhi Oct 20, 2022 07:09 AM GMT
Report

අම්බලන්ගොඩ, මාදම්පා ගගේ මෝයකට ආසන්නයේ දියනෑමට ගිය සිසුන් තිදෙනෙකුගෙන් අතුරුදන්ව සිටි සිදුවෙකුගේ සිරුර නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අද (20) උදෑසන සොයාගෙන තිබුණි.

එම සිසුන් තිදෙනා එම ස්ථානයේ නෑමට ගොස් තිබුණු අතර එහි තිබූ අධික සැඩපහර ට ඔවුන්ව ගසාගෙන ගොස් තිබුණි. අසල සිටි පුද්ගලයෙක් එක් සිසුවෙක්ව එම අවස්ථාවේදීම බේරාගෙන තිබුණු අතර අනෙක් සිසුන් දෙදෙනා අතුරුදන් වී තිබූ බව පොලීසිය පැවසීය.

පසුව එක සිසුවෙකුගේ සිරුරක් ඊයේ (19) සවස් වරුවේ සොයා ගැනුණි. අනෙක් සිසුවාගේ සිරුර අද සොයාගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නිව්යෝර්ක් ගම්මානය, තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වැල්ලගේ විශ්ව ලක්ෂාන් (16) සහ 10 A, පටබැඳීමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බින්දුගේ අවිශ්ක කුමාර (14) යන දෙදෙනාය. 

 දිවිගලවාගෙන ඇත්තේ තිලකපුර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි අන්ද්‍රයලාගේ මලිඳු (15) නැමැති අයයි. දියේ ගසාගෙන යද්දී එම ස්ථානයේ සිටි අයෙකු විසින් ඔහු බේරාගෙන තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මියගිය සිසුන් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජී. ඩබ්ලිව්. එන්. අයි. එස් ප්‍රනාන්දු මහත්මිය විසින් බලපිටිය මූලික රෝහලේ අද (20) දින පැවැත්වීමට නියමිතව තිබේ.

මියගිය සිසුන් දෙදෙනාගේ සිරුරු බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now