කටුනායක ගුවන් යානයක් 5Km ක ප්‍රදේශයක වහලවල් සහ ගස් ගලවාගෙන යයි..කෝටි ගණනක විශාල හානියක්..(PHOTOS)

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka Politician Sri Lanka Accident
By Aruna Jul 19, 2023 06:06 AM GMT
Report

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සූදානමින් පැමිණි ගුවන් යානයක් පහළ මට්ටමකින් ගමන් ගැනීම නිසා, ගුවන් නියමුවා එක වරම එම ගුවන් යානය ඉහළට එසවීමේදී ඇති වූ වායු තෙරපුම හේතුවෙන් කිලෝ මීටර් පහක් පමණ වපසරියක නිවාස හා දේපළවලට සිදුවූ හානියට මෙතෙක් කිසිදු වන්දියක් නොලද බව පවසමින් කටාන පොලිසියට සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට එම ආපදාවලට ලක්වූවන් පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 303 දරන ගුවන් යානය ඉකුත් පස්වන දා සවස සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට (A330 වර්ගයේ එයාර් බස් වර්ගයේ ගුවන් යානයක්) පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානය තුළ ගුවන් මගීන් 292ක් සහ කාර්ය මණ්ඩලය 12ක් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානය අඩි 800ක තරම් පහළ උසකින් මේ ප්‍රදේශයෙන් ගමන් කර ඇති බව ත්, ඒ හේතුවෙන් මෙම ගුවන් යානයේ නියමුවා එක වරම මෙම යානය අඩි 2,000ක් තරම් උසකට රැගෙන යාමට පියවර ගැනීම ත් සමග මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි සඳහන් වූයේ.

මෙයින් හානියට පත් නිවසක හිමිකරුවෙකු වන දාගොන්නේ කනිෂ්ක සරත්චන්ද්‍ර (36) මෙම සිදු වීම මෙලෙස විස්තර කළා.

“මම ගොවියෙක්. මම විවාහකයි. මගේ බිරිඳ කොළඹ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. පසුගිය 5 වන දා සවස 05.30ත් 05.50ත් අතර වෙලාවේ, මම පස් හැවිරිදි පුතා සහ දෙහැවිරිදි දුව සමග ගෙදර ඉස්තෝප්පුවේ සෙල්ලම් කරමින් සිටියා.

ඒ වෙලාවෙ අපේ මාමා කෙනෙකුත් එතැනට ආවා. පොඩි වැහි පොදයකුත් ඒ වෙලාවෙ තිබුණා. අපේ ගෙදර ඉහළින් තමයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා ගමන් කරන්නෙ. මම උපන් දා සිට මේ ගමේ පදිංචිව ඉන්නවා.

ඒත් ගුවන් යානයකින් අපේ ප්‍රදේශයේ ගහක කොළයකට වත් හානියක් වෙලා නැහැ. ඉතින් අපි ඉස්තෝප්පුවේ ඉන්නකොට මම දැක්කා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ගුවන් යානයක් එනවා.

එහි විශේෂත්වයක් තිබුණා. ඒක දෙපැත්තට පැද්දෙමින් ආවෙ. මම මාමට කිව්වා, ‘මාමෙ මේක නම් කඩා වැටෙයි ද’ කියලා. ඒ ගුවන් යානය අපේ ගේ පහු කරනවාත් සමග ම විශාල ශබ්දයක් ආවා .

මම දරුවො දෙන්නා බදා ගත්තා. ඒ සමග ම දැවැන්ත සුළගක් ආවා. ඒ තත්ත්වය තත්පර කීපයක් පමණයි පැවතුනේ.

ඒ ආ හුළඟින් අපේ නිවසෙ වහළ, කුස්සියේ වහළය, ආයෙත් හොයා ගන්න බැරි වෙන්න ම ගසා ගෙන ගිහිල්ලා තිබුණා. මේ ගෙදර හදල අවුරුදු 6යි.

ඒ වගේ ම, මගේ ළමයින්ගෙ අධ්‍යාපන වියදම්, ගෙදරදොර එදිනෙදා වියදම් මම ආවරණය කර ගන්නෙ මේ පොල් වගාවෙන්.

ඒ ගස් සියල්ල කැඩිලා, ඉදිරිලා ගිහිල්ලා. එදා ඒ ගිය ගුවන් යානය අශ්ව බල 75,000 ධාරිතාවයෙන් යුත් එන්ජින් දෙකක් සහිත එකක් බව කියනවා.

එම අවස්ථාවේ ගුවන් නියමුවා සිය ගුවන් යානය සහ එහි සිටින මගීන් බේරා ගැනීම සදහා ගත් පියවර අගය කරමින් හත්වන දා එම ගුවන් නියමුවා ඇගැයීමකට ලක් කළ පුවත් එදින රාත්‍රී රූපවාහිනී පුවත් මගින් විකාශනය කළා.”

මෙම සිදුවීම නිසා දාගොන්න, ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 5ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ මහදාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවාරාම විහාරස්ථානයේ නන්දරතන හිමියන් ද මෙසේ ප්‍රකාශ කළා.

පසුගිය පස්වන දා සවස 05.35ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් ගමන් කළා. සාමාන්‍යයෙන් අපේ පන්සල උඩින් තමයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සන ගුවන් යානා ගමන් කරන්නෙ.

එදා 5 සවස 05.35ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ දෙසට ගමන් කළා.

ඒ සමග ම විශාල සුළඟක් ආවා. එයින් පන්සලේ ආවාස ගෙය, දහම් පාසැල ඇතුළු ගොඩනැගිලි වල වහළය ගැලවිලා ගියා. පන්සල් වත්තෙ ගස් විශාල ගණනක් මේ සුළඟට අහුවෙළා කැඩිලා ගියා.

පන්සලට රුපියල් කෝටියක පමණ අලාභයක් මෙයින් සිදු වී තිබෙනවා.”

GalleryGalleryGallery