සැමියකු සූක්ෂම ලෙස රක්ෂණ මුදල් ගැනීමට බිරිඳ මැරූ පුවතේ තවත් තොරතුරු එළියට..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi May 06, 2023 03:43 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තම බිරිඳගෙ රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට බිරිඳ සූක්ෂම ලෙස ඝාතනය කළ පුවතක් පිටිගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එනම්, රුපියල් කෝටි 3ක පමණ වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිය ඝාතනය කළ 25 හැවිරිදි තරුණයා පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ තරුණයා තම මිත්‍රයෙකු යොදවා රිය අනතුරක් සිදුකර එම කාන්තාව ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළා.

පසුගිය 30වනදා පිටිගල මානම්පිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශීය සභාව අසල මාර්ගය අයිනේ රැඳීසිටි කාන්තාවක් සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ අතර පසුව එය පැදවූ පුද්ගලයා ජීප් රථයත් සමග එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

අදාළ අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ නිරෝෂා උදයංගනී නැමැති හතළිස් හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාවගේ 25 හැවිරිදි සැමියා ඇය සමග අනතුර සිදුවූ ස්ථානයට යතුරුපැදියකින් පැමිණ ඇති අතර ඔහු ඇයව එම ස්ථානයේ බස්සවා ඇයගේ හිස් ආවරණයද රැගෙන ගොස් ඇත්තේ එය ලබාගත් පුද්ගලයාට දීමට අවශ්‍ය බව පවසමිනි.

අදාළ කාන්තාව එම ස්ථානයේ බස්සවා යෑමෙන් පසුව එම ස්ථානයේදී අතරතුර සිදුවී ඇත. පසුව ඒ පිළිබඳව පිටිගල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර පළමුව අනතුර සිදුකළ ජීප් රථය සොයාගෙන තිබුණි. සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ජීප් රථය කුලී පදනම මත මියගිය කාන්තාවගේ සැමියා හා ඔහුගේ මිතුරෙකු විසින් ලබාගෙන ඇති බවය.

අනතුරුව පොලීසිය විසින් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී අනාවරණ වී ඇත්තේ, මියගිය කාන්තාවගේ සැමියාගේ උපදෙස් මත රියඅනතුර සිදුකර ඇති බවය. මීට මාස 10කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහවී ඇති බවත් අනතුරුව අදාළ කාන්තාව ඝාතනය කිරීම සඳහා තමා සැලසුම් කළ බවත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

සංවිධානාත්මකව ඔහු විසින් තම බිරිඳව ඝාතනය කර ඇත්තේ, ඇය විදෙස්ගත සිටියදී උපයාගත් මුදල් ලබාගැනීම සහ ඇයගේ ජීවිත රක්ෂණ 3 සතුව ඇති රුපියල් කෝටි 3ක පමණ මුදල ලබාගැනීමට බවත් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය අනාවරණ කරගෙන ඇත. මේ අතර රිය අනතුර සිදුකිරීම සඳහා පැමිණි ජීප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now