වෑත්තෑව විහාරාධිපති හිමි ඝාතනයට හේතුව හෙළිවෙයි - ගෝල හිමිගෙන් පාපොච්චාරණයක්

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Sep 15, 2022 04:16 PM GMT
Report

සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනයෙන් පසුව අතුරදන්වී සිටි ගෝල හිමිනම ඩුබායි බලා පළායාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අද (15) අලුයම අත්අඩංගුවට ගැනුණි. ඒ වනවිටත් උන්වහන්සේ චීවරයා දර සිටි බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ දේපළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අදාළ ඝාතනය කළ බවට ඝාතනයෙන් පසුව අතුරුදන්වූ ගෝල හිමිනම පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර ඇති බවය. සැකකාර 18 හැවිරිදි භික්ෂුව සීදූව පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා රැගනෙ ගොස් තිබුණි.

එහිදී උන්වහන්සේ පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ විහාරාධිපති හිමියන් සමග දේපළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඝාතනය සිදුකළ බවය. එමෙන්ම තරුණ භික්ෂුව පෙම් සබඳතාවක් පැවැත්වූ බව කියන තරුණියකගේ මව හා පියා සමග එක්ව අදාළ ඝාතනය සිදුකළ බවට ද උන්වහන්සේ පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

පසුගිය 12 වනදා දහවල් කාලයේදී ගෙල සිරකර විහාරාධිපති හිමිනම ඝාතනය කළ බවත් අනතුරුව දුගඳ හැමීම වැළැක්වීමට සහ පොලිස් නිල සුනඛයන් නොමඟ යැවීමට දේහයට මිරිස් කුඩු ගැසූ බවත් සැකකාර භික්ෂුව පාපෝච්චාරණය කළ බව පොලීසිය පැවසීය.

අනතුරුව එදිනම ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 135කටත් ඊයේ දිනයේදී වැගන්ආර් රථය රුපියල් ලක්ෂ 54කටත් වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කළ බවත් සැකකාර භික්ෂුව පොලීසිය හමුවේ අනාවරණ කර තිබේ. පසුව සැකකාර භික්ෂුව ඝාතනය සිදුකිරීමට එක්වූ යුවළ සමග මුදල් ද රැගෙන ඊයේ (14) දහවල් විහාරස්ථානයෙන් පළාගොස් තිබුණි.

ඒ අනුව සැකකාර යුවළ ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය. සීදූව වෑත්තෑව නන්දාරම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන් විහාරස්ථානය තුළදී ඝාතනය කර තිබියදී සිරුර සොයා ගත්තේ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට ලද තොරතුරකට අනුවය. එහිදී පොලීසිය සිදුකළ පරීක්ෂා කිරීමේදී ආවාස ගෙය තුළ ඇඳක් මත සිවුරකින් මුහුණ හා මුඛය බැඳ දමා තිබූ මළ සිරුර හමුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now