ILT20 වෙන්දේසියට වනිඳු, දසුන්, අවිශ්ක සහ කුසල් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්
එළඹෙන ඔක්තෝබර් 1 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිත 5 වැනි වාරයේ ‘DP World ILT20’ ක්‍රීඩක වෙන්දේසිය සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වී තිබේ.
ඒ අනුව වනිඳු හසරංග, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
වනිඳු හසරංග සහ දසුන් ශානක ඇමෙරිකානු ඩොලර් 80,000ක මූලික මිල කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ඇමෙරිකානු ඩොලර් 40,000ක මූලික මිල කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර තිබේ.
මෙවර වෙන්දේසිය සඳහා රටවල් 23කින් ක්‍රීඩකයන් 400කට වැඩි පිරිසක් කෙටි ලැයිස්තුගත කර ඇති බව සඳහන් වේ.
වෙන්දේසියට පෙර සිදුකරන ලද ක්‍රීඩක අත්සන් කිරීම්වලින් ඉතිරි වූ මුදල්ද ඇතුළුව, තරගාවලියට එක්වන කණ්ඩායම් හයටම අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදල් පසුම්බියක් හිමිවනු ඇත.
5 වැනි වාරයේ ‘DP World ILT20’ තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි සහ සාජා යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.