Online Instant Loan එකක් ගන්න කලින් මේ කොන්දේසි කියවන්න
මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාගැනීමේදී අදාළ ආයතන විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිබඳව නිසි අවබෝධයක් ලබාගෙන කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
එමඟින් ණය ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි අපහසුතා මෙන්ම මූල්‍යමය පාඩුද අවම කරගත හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින්, ජංගම දුරකථන යෙදවුම් හරහා ක්ෂණික ණය ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, මෙවැනි ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ට ණය ආපසු ගෙවීමේදී ඉහළ පොලී අනුපාත යටතේ වාරික අය කිරීම හේතුවෙන් අපහසුතාවට පත්වන බවට ලැබුණු තොරතුරු අනුවය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇතැම් ණය ගනුම්කරුවන් අදාළ යෙදවුම් හරහා ණය ලබාගැනීමට පෙර ආයතන විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබාගෙන නොමැති බවයි.
අදාළ ආයතනවල කොන්දේසි තුළ ණය මුදල් ආපසු අය කරගැනීමේ ක්‍රමවේදය මෙන්ම එම යෙදවුම් භාවිතයෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳවද සඳහන් කර ඇති බව පොලිසිය පවසයි. එම අවදානම් සම්බන්ධ වගකීම ණය ලබාගන්නා පුද්ගලයා විසින් දැරිය යුතු බවද එම කොන්දේසිවල පැහැදිලිව දක්වා ඇති බව සඳහන් වේ.
ඒ අනුව, කොන්දේසි නිසි ලෙස කියවා අවබෝධ කර නොගෙන යෙදවුම් ස්ථාපනය කර ණය ලබාගැනීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් පසුව අපහසුතාවට පත්වන බව විමර්ශනවලදී නිරීක්ෂණය වී තිබේ.
එබැවින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්ෂණික ණය ලබාගැනීමට පෙර අදාළ ආයතනයේ කොන්දේ
සි, පොලී අනුපාත, ආපසු ගෙවීමේ ක්‍රමවේදය සහ ඇතිවිය හැකි අවදානම් පිළිබඳව හොඳින් සොයාබලා කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.