වියපත් ප්‍රේමය තරුණ ජීවිතයක් බිළිගනී - නොදැන පෙම් කළ වරදට ගමක් හඬවා අවසන් ගමන් ගිය තරුණයා - (VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 15, 2023 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හඟුරන්කෙත පල්ලේ බෝවල බඹරගම ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුම නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවය. මෙම තරුණයා මීට මාස කිහිපයකට පෙර කොළඹට පැමිණෙන්නේ කොරියානු භාෂා පාඨමාලාව හැදෑරීම සඳහාය.

මේ අතරවාරයේ කොරියානු භාෂා පාඨමාලාවේ වට්ස්ඇප් සමූහයට සම්බන්ධව සිටි ඉඳුනිල් එහි සිටි කාන්තාවක් සමග කෙටි පණිවුඩ, ඡායාරූප සහ හඬපටද හුවමාරු කරගෙන ඇත. නමුත් පසුව අනාවරණය වී ඇත්තේ, සැබැවින්ම තමා වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 44ක් වන කාන්තාවක් සමග බව ඉඳුනිල් දැන නොසිටි බවයි.

පසුගිය අප්‍රේල් 19 වනදා කොරියානු භාෂා අවසන් පරීක්ෂණයට යමින් සිටි ඉඳුනිල්ව මොවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධය දැනගත් කාන්තාවගේ ඥාතීන්, කොළඹ කොටුවේදී පැහැරගෙන ගොස් තිබුණි. මෝටර් රථය තුළදීම දරුණු ලෙස පහරකෑමට ලක්වූ ඉඳුනිල් රැගෙන ගොස් ඇත්තේ, සපුගස්කන්ද ප්‍රදේශයටය.

අවසානයේ කොළොන්නාව සුසාන භූමිය අසලට පැමිණි පිරිස රථයෙන් බැස ඉඳුනිල්ගේ ඇඳුම් ගලවා මහ මග යළිත් වරක් පහරදුන් ආකාරය පටිගතවූ විඩියෝ පටයක් ද මේ වනවිට හමුවී තිබේ. පසුව පහරදුන් කණ්ඩායම තරුණයාව එහි අතහැර පළාගොස් තිබුණි.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ඉඳුනිල්ව පසුගිය අප්‍රේල් 19 වනදා සපුගස්කන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි. බරපතළ ලෙස තුවාල ලබා මාස 05ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුනිල්, පසුගිය 12 වනදා සිය ජීවිතයෙන් සමුගත්තේය.