යූරියා ලබාදීම ගැන රටටම සුබ ආරංචියක්.. දෙන පොහොර ප්‍රමාණයත් වැඩි කරයි.
මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර නිසි අවස්ථාවේ යෙදීම සඳහා කිසිදු බාධාවකින් තොරව නිකුත් කිරීමට මේ වනවිටත් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
ගොවි සංවිධාන යැයි කියා ගන්නා පිරිසක් විසින් පොහොර අවශ්‍ය වේලාවට නොලැබෙන බවට මාධ්‍ය හමු පවත්වමින් ගොවි ජනතාව අධෛර්යමත් කිරීමේ උත්සාහයක නිරත ව සිටින අතර ඔවුන් විසින් මාධ්‍යයට කරන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ දී පොහොර ලබා දීම පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරේ.
කෘෂිකර්ම දෙපාර්කමේන්තුව නිර්දේශ කර ඇති පරිදි මෙවර වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර යෙදීම සඳහා නිර්දේශ ලබා දී ඇත.
සාමාන්‍යයෙන් වී වගාවේ දී යුරියා පොහොර පළමු මුරය වී වපුරා හෝ ගොයම් සිටුවා දින 14ක් තුළත්, දෙවන යුරියා පොහොර මුරය සති 04කින් ද සහ තුන්වන යුරියා පොහොර මුරය වපුරා හෝ ගොයම් පැළ සිටුවා දින 42ත් 45ත් අතර යොදනු ලබයි.
ගොවීහු මුර තුනටම අවශ්‍ය පොහොර එකවර ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. එසේ එකවර සැපයීම පහසු නමුත් ඒ සඳහා අවශ්‍ය තරම් යුරියා පොහොර දැනට අප සතුව නැත.
එමනිසා පළමු මුරයට අවශ්‍ය යුරියා පොහොර මේ වනවිටත් සියලුම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දී තිබේ. උතුරු හා නැගෙනහිර පළාත් හැරෙන්නට අනිකුත් දිස්ත්‍රික්කවල තවමත් මහ කන්නය සඳහා වී වගාව ආරම්භ කර නැත.
නමුත් ගොවීන්ට පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර මේ වනවිටත් යවා ඇත.
දැනට අප සතුව යල කන්නය සඳහා මිල දී ගත් යුරියා පොහොරවලින් වී වගාවට වෙන් කරන ලද මෙට්‍රික් ටොන් 21,000ක් පමණ තිබේ. එමෙන්ම මහ කන්නය සඳහා ඇනවුම් කරන ලද පොහොරවලින් මෙට්‍රික් ටොන් 12,500 ක් මෙම මස 25 දිනත්, තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 120,000ක් නොවැම්බර් මස 20 දින වනවිටත් අප රටට ලැබේ.
එමනිසා යුරියා පොහොර නොලැබේ යැයි කිසිදු බියක් සැකක් තබා ගත යුතු නැති අතර දෙවන හා තුන්වන මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙන්ම පීදෙන ගොයම් වර්ධනය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් නොවැම්බර් මස අවසන් වනවිට මෙරටට ලැබීමටත් නියමිතය.
එමනිසා ගොවි ජනතාවට පොහොර නොලැබේයැයි කීසදු සැකයක් හෝ බියක් තබා ගත යුතු නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙවර මහ කන්නයේ දී හෙක්ටෙයාර් එකකට ලබා දෙන යුරියා පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 170කි.
එය පසුගිය යල කන්නයට වඩා කිලෝ ග්‍රෑම් 70ක් වැඩිපුර ලබා දීමට කටයුතු යොදා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |