යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධිකරණයේදී නිවැරදිකරුවන් බව කියයි

Yoshitha Rajapaksa Latest Headlines Sinhala news Puwath.lk Wasantha Karannagoda
By R.rishma Nov 23, 2026 07:03 AM GMT
Report

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබීය.

එහිදී එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනාම අධිකරණයට දැනුම් දුන්හ.

අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කර ඇති අතර, වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

එම ක්‍රියාව තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබේ.