චාමර සම්පත් දසනායක ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ.
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
එහිදී චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ ලිඛිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ විරෝධතා ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එමෙන්ම මන්ත්‍රීවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ඉදිරිපත් කළ ඇප ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර, චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත අයවැය කතාවට සහභාගී වීම සඳහා සිය සේවාදායකයා පාර්ලිමේන්තුවට යැවීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ බන්ධනාගාරය තුළ බෝවන රෝගී තත්ත්වයක් පවතින බැවින් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බවට බන්ධනාගාර බලධාරීන් දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම සම්බන්ධ දිනය තවමත් උදා වී නොමැති බැවින් ඒ පිළිබඳව පසුව සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 වැනිදා දක්වා කාලය තුළ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, නියමිත ක්‍රමවේදයෙන් බැහැරව සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, අදාළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඉදිරියට පවත්වාගෙන යන අතර සැකකරුවන් දෙදෙනා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.