අධික වැසි මැද රටටම අනතුරු ඇඟවීමක්

Weather Latest Headlines Sinhala news Puwath.lk National Building Research Institute
By R.rishma Nov 10, 2026 09:35 AM GMT
Report

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම්, ගංවතුර ඇතුළු ස්වාභාවික ආපදා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආපදා තත්ත්වයන් හමුවේ සිදුවිය හැකි ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා නිල අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් හදිසි අවස්ථාවකට පෙර සූදානම් වන ලෙසද බලධාරීහු අවධාරණය කරති.

ඒ අනුව, ජනතාව අනුගමනය කළ යුතු ප්‍රධාන ආරක්ෂක පියවර කිහිපයක් පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

හදිසි අවස්ථා සඳහා අවශ්‍ය දෑ සූදානම් කරගන්න

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ, වැදගත් ලියකියවිලි, වියළි ආහාර සහ ප්‍රථමාධාර උපකරණ ඇතුළත් හදිසි බෑගයක් සූදානම් කර ළඟ තබා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

පවුලේ සාමාජිකයන් සහ අසල්වැසියන් දැනුවත් කරන්න

ආපදා අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය සහ ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීම පිළිබඳව පවුලේ සියලු සාමාජිකයන් මෙන්ම අසල්වැසි ප්‍රජාවද දැනුවත් කර තබා ගැනීම වැදගත් වේ.

නිල කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන හා අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ හඳුනාගන්න

පොළොවේ පැලීම් ඇතිවීම, ජල මට්ටම්වල හදිසි වෙනස්වීම්, ගස් ඇලවීම හෝ කඩා වැටීම සහ මඩ සහිත ජලය මතු වීම වැනි නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසද උපදෙස් ලබාදී ඇත.

අවදානමක් දැනුණු වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න

තමන් පදිංචි ප්‍රදේශයේ අවදානම් තත්ත්වයක් හඳුනාගතහොත් කිසිදු ප්‍රමාදයකින් තොරව ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් වන ලෙස බලධාරීහු ජනතාවට අවධාරණය කරති.

අධික වර්ෂාපතනය හමුවේ තම ජීවිත මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ සහ අවට ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වගකීමෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සිහිපත් කර සිටී.