යාල වනෝද්‍යානය දෙවනත් කළේ , ඇමති පුතෙක්..! - පුබුදු ජයගොඩ

Sri Lanka
By Sewvandhi Oct 26, 2022 03:38 PM GMT
Report

යාල සිදුවීමට කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බැවින් එය වසන් කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එම චෝදනාව සිදුකළේය. ඩිෆෙන්ඩර් සහ කැබ්රථවලින් යාල වනෝද්‍යානයේ වනසතුන්ට පමණක් වෙන්වූ සංවේදී පරිසර කලාපයට ඇතුළු වූ පිරිසක් එහි රේස් පදිමින්, සතුන්ට හිංසාකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඒ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවූ දැඩි විවේචන මැද, අයථා ලෙස වාහන පදවමින් වනජීවි හා වෘක්ෂලතා පනත උල්ලංඝනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පිරිසට එරෙහිව නෛතික පියවර ගැනීමට තීරණය විය.

මෙවන් පසුබිමක, වනෝද්‍යානය තුළ අයථා අන්දමින් වාහන පැදවීමේ සිදුවීමට සම්බන්ධ වූ රියදුරන් 07 දෙනෙකු සහ එම දර්ශන පටිගත කළ පුද්ගලයන් දෙදෙනෙකු අද පෙරවරුවේ යාල වනෝද්‍යානයේ බලධාරින් වෙත පැමිණ භාර වුණි. එසේම එම තැනැත්තන් සමඟ ඔවුන් පැදවූ ඩිෆෙන්ඩර් සහ කැබ්රථ 07ක්ද වනෝද්‍යානයේ බලධාරින්ට භාරදී තිබුණි.

අනතුරුව වනෝද්‍යාන බලධාරින් අදාළ තැනැත්තන් නවදෙනා සහ සිය භාරයට පත් ඩිෆෙන්ඩර් සහ කැබ්රථ 07 තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදි කරුණු සලකාබැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් නවදෙනා රුපියල් ලක්ෂ 05 බැගින් වූ එක් ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය.

සිදුවීම සම්බන්ධයෙන් වු නඩුව එළඹෙන දෙසැම්බර් 09 වනදා යළි කැඳවීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,

"මේ පිස්සු නැටීමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් කියලා මේ වෙනකොට වාර්තාවෙලා තිබෙනවා. මේ ඇමතිවරයා කවුද කියලා හොයාගන්න බැරිවෙලා තිබෙනවා. ඒකත් මහා අබිරහසක්වෙලා. මේ ඇමතිවරයාගේ පුත්‍රයා මීට කලිනුත් මේ විදිහටම ඇවිල්ලා ජාතික වනෝද්‍යානය තුළ මේ විදිහටම හානි කරලා තිබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now