කලාවෙන් හදවත හදමු - අධ්‍යාපනයේ අලුත් මෙහෙයුම ගැන අගමැතිනිය කියයි

Ministry of Education Harini Amarasuriya Education Latest Headlines Colombo politics heat up
By R.rishma Sep 30, 2026 09:36 AM GMT
Report

දක්ෂ කලාකරුවන් මෙන්ම රෝගීන්ගේ වේදනාව හඳුනාගත හැකි වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ සංවේදී ඉංජිනේරුවන් බිහිකිරීම රජයේ අරමුණක් බවත්, ඒ සඳහා සෞන්දර්ය අධ්‍යාපනය ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

දකුණු පළාතේ දූ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමේ අරමුණින් ගාල්ල, බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත විශේෂිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සැප්තැම්බර් 29 වැනිදා අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අධ්‍යාපනය යනු විභාග සමත්වීම හෝ සහතිකපත් එකතු කිරීම පමණක් නොවන බවයි. ජීවත්වන සමාජය අවබෝධ කරගෙන එහි යහපත් වෙනසක් ඇති කළ හැකි සංවේදී සහ වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීම අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් විය යුතු බවද ඇය පෙන්වා දුන්නාය. 

සෞන්දර්ය අධ්‍යාපනය තුළින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වනවා සේම, අනෙකාගේ වේදනාව හඳුනාගැනීම, විවිධත්වයට ගරු කිරීම සහ මානවීය ගුණාංග වර්ධනය කිරීම සඳහාද එය වැදගත් වන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම සෞන්දර්ය අධ්‍යාපනයේ මානවීය වටිනාකමට අමතරව එහි ආර්ථික වැදගත්කමද අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලින් ඔබ්බට ගොස් ආර්ථිකයට සෘජුව සම්බන්ධ කළ හැකි නව ක්ෂේත්‍ර රැසක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව පැවසුවාය.

ඩිජිටල් කලාව, නව මාධ්‍ය, චිත්‍රපට, සංගීත තාක්ෂණය සහ නිර්මාණශීලී කර්මාන්ත වැනි ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය පුරා නිර්මාණය වන ආර්ථික හා වෘත්තීය අවස්ථා සඳහා මෙරට දරුවන් සූදානම් කිරීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි. ඊට අදාළ වසර 13ක විෂයමාලා රාමුව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සංකල්ප පත්‍රිකාව සහ ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා සැප්තැම්බර් 28 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඇය අනාවරණය කළාය.

“අපි මේ ගමන් කරමින් ඉන්නේ පරිවර්තනීය යුගයක. අපේ රට සෑම අංශයකින්ම පිබිදීමකට සහ වෙනසකට ලක්වෙමින් තිබෙනවා. ආර්ථිකය වගේම විවිධ ක්ෂේත්‍රවලින් අපේ මිනිසුන් ඉදිරියට එමින් සිටිනවා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. 

එමෙන්ම මෙරටින් චිත්‍රපටයක් පළමු වරට ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට තෝරාගෙන ඇති බවත්, ආසියානු ක්‍රීඩා උළෙලේදී රුමේෂ් තරංග රන් පදක්කමක් දිනාගෙන ඇති බවත් සඳහන් කළ ඇය, මෙවැනි ජයග්‍රහණ සමඟ රට ඉදිරියට යන මොහොතක බටදූව ශ්‍රී රතනජෝති සෞන්දර්ය විද්‍යාලයද ලෝක මට්ටමේ ජයග්‍රහණ අත්කරගත හැකි දක්ෂයන් බිහිකරන ස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළාය.

“ලෝකය අපට විවෘතයි. අවස්ථා අපට විවෘත වෙමින් තිබෙනවා. ජයග්‍රහණ අපට පෙනෙන දුරින් තිබෙනවා. ඒ නිසා මේ ආරම්භය ඉතාමත් වැදගත්. මේ ආරම්භය තුළින් ඉතිහාසය ඉගෙනගන්නවා පමණක් නොව, ඉතිහාසය අලුතින් ලියන්න ඔබ සියලුදෙනාට හැකි වේවායි මා විශ්වාස කරනවා,” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ, වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාවලිය තුළ වැඩි අවධානයක් අධ්‍යාපනයට යොමු කර ඇති බවයි. සමාජය සහ පරිසරය පිළිබඳ සංවේදී මානව සම්පතක් ගොඩනැගීම එහි ප්‍රධාන අරමුණක් බවද ඔහු පැවසීය. 

කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, සීමාවන්ගෙන් ඔබ්බට ගිය පුළුල් දැක්මක් සහිත දරුවන් පිරිසක් බිහිකිරීම සඳහා රජය නව සංකල්ප සහ ආකෘති ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය යොමු කරමින් සිටින බවයි.

මෙම අවස්ථාවට නාකියාදෙණියේ ඥානුත්තර ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මාණවඩු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරෝෂා ලියනගේ, තිලංක යූ. ගමගේ සහ ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්තසිංහ, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පති සුමිත් සමරවික්‍රම මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් රැසක් එක්ව සිටියහ.