රැකියා විරහිත උපාධිධාරීන්ගේ පොරොන්දු ඉටු කරන්නේ කවදාද? - සජිත් ආණ්ඩුවෙන් විමසයි

Parliament of Sri Lanka Sajith Premadasa Government Employee Teachers Sinhala news
By R.rishma Sep 22, 2026 07:22 AM GMT
Report

රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් වත්මන් රජය ලබා දී ඇති පොරොන්දු ඉටු කරන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ උපාධිධාරී තරුණ පරපුරේ රැකියා විරහිතභාවය දිගුකාලීනව පවතින සමාජ හා ආර්ථික ගැටලුවක් බවයි.

උපාධිධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතා රටේ ආර්ථික හා රාජ්‍ය සේවා අවශ්‍යතා සමඟ ඵලදායී ලෙස සම්බන්ධ කරමින් ඔවුන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම රජයේ වැදගත් වගකීමක් බව ද ඔහු අවධාරණය කළේය.

රජයේ පොරොන්දු අතර ගුරු සේවයට 20,000ක පිරිසක් බඳවා ගැනීම, විද්‍යා, තාක්ෂණ, ගණිත හා ඉංජිනේරු ක්ෂේත්‍ර සඳහා බඳවා ගැනීම් සිදු කිරීම මෙන්ම දේශීය ආදායම්, රේගු සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදීම ඇතුළත් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සහ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් ද රජය පොරොන්දු ලබාදී ඇති බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, එම පොරොන්දු ඉටු කරන දිනය සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බව රජය දැනුම් දීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය පොරොන්දු ඉටු නොකරන බවට සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පමණක් ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බවයි.

“අපි අධ්‍යාපනයට විතරක් 23,000ක් ගුරුවරු බඳවා ගන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයට විතරක්. නමුත් මේක 27/2 ප්‍රශ්නයක්. ඊයේ හවස දුන්නට පස්සේ පිළිතුර සකස් කරන්න සාධාරණ කාලයක් ඕන වෙන්න පුළුවන්,” යනුවෙන් සභානායකවරයා පැවසීය.