බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 5කට අත්හිටුවයි
බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ලබන නොවැම්බර් 19 වැනිදා සිට 23 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සසික ජයසිංහ මහතා විසින් මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව එම දින පහක කාලසීමාව තුළ කාර්යාල මට්ටමින් මෙන්ම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු නොවන බව සඳහන් වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක හා මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කිරීම සහ මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම තාවකාලික පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින් නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා විශේෂ සහන කාලයක් ලබාදීමට ද තීරණය කර ඇත.
ඒ අනුව සේවා අත්හිටුවීම හේතුවෙන් නියමිත දිනට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට නොහැකි වන වාහන හිමියන්ට නොවැම්බර් 27 වැනිදාට පෙර අදාළ කාර්යාල වෙත පැමිණ තම බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
එබැවින් අදාළ දින පිළිබඳ අවධානය යොමු කරන ලෙස බස්නාහිර පළාතේ සියලුම වාහන හිමියන්ට දැනුම් දී තිබේ.