තිබූ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු වැඩි කරලා - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට චෝදනාවක්
ඉන්ධන සඳහා ලබාදී ඇති බව කියන සහනවලට සාපේක්ෂව ඉන්ධන මත පනවා ඇති බදු ප්‍රමාණය අඩු කර නොමැති බවත්, පෙර පැවති බදු ප්‍රමාණයටත් වඩා බදු වැඩි කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයන් හමුවේ අවසානයේදී පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව බවයි.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
ජීවන වියදම ඉහළ යාම හමුවේ ජනතාව දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවත්, ඉන්ධන මිල සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදුන්නද අනෙක් පාර්ශ්වයෙන් බදු වැඩි කිරීම හරහා එම සහනයේ ප්‍රතිඵල ජනතාවට නොලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
"නැවෙන් බාන ගාණට තමයි තෙල් දෙන්නම් කිව්වේ. කොමිස් ගහනවා කිව්වා. අඩුම ගාණේ තෙල්වල බද්දවත් අඩු කරන්න. තිබුණු බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කළා. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ ජනතාව."
මේ අතර කිරිපිටි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, භාණ්ඩ හා සේවා මිල ඉහළ යන වේගයට සමානුපාතිකව ජනතාවගේ වැටුප් වැඩි නොවන බවද සඳහන් කළා.
ගෑස් සහ ඉන්ධන පෝලිම් නොමැති බවට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කළද, ගම්මානවල සහ නගරවල ජනතාව සමඟ කතාබහ කිරීමේදී එම ගැටලු පිළිබඳව තවදුරටත් අදහස් පළවන බවද ඔහු කියා සිටියා.
එමෙන්ම ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලුවලට ආණ්ඩුව ලබාදීමට සූදානම් විසඳුම කුමක්දැයි ප්‍රශ්න කළ නාමල් රාජපක්ෂ මහතා, තවත් බදු පැනවීම හෝ විමර්ශන සිදුකිරීම පමණක් විසඳුමක් නොවන බවට චෝදනා කළා. ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බවටද චෝදනා කළ ඔහු, රටේ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජනතාවට සහන සැලසීමට වඩාත් ඵලදායී වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කළා.
තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට, පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් අවම කිරීමට සහ ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුව සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවයි. උද්ධමනය සියයට 8 ඉක්මවා ඇති බවටද ඔහු සඳහන් කළ අතර, එම තත්ත්වය මාසයෙන් මාසයට ඉහළ යන බවද ප්‍රකාශ කළා.