ඉන්ධන පෝලිම් ඇතිවෙන්නේ ඇයි? CPC සභාපති හේතුව හෙළි කරයි
රට තුළ මේ වන විට ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ඇතැම් පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධන සැපයුම සීමා කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු මතුව ඇති බව සංස්ථාවේ සභාපති ටී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කර තිබේ.
රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, සාමාන්‍ය පරිදි ඉන්ධන සැපයුම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.
පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් කිහිපයක් පාඩු ලැබීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඉන්ධන සැපයීම අඩු කර තිබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ නොමැති ප්‍රදේශවල පෞද්ගලික සමාගම්වල සැපයුම් අඩුවීම නිසා ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්ධන සැපයුම අඩු ප්‍රදේශ 52ක් හඳුනා ගැනේ
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඉන්ධන සැපයුම අඩු වී ඇති ස්ථාන 52ක් හඳුනාගෙන තිබේ.
එම ස්ථාන සඳහා ප්‍රමුඛතාව ලබාදී ඉන්ධන සැපයීමට පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් එකඟතාව පළ කර ඇති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපතිවරයා පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම ඉන්ධන බෙදාහැරීමේ සමාගම් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව, පෞද්ගලික සමාගම් විසින් තම සාමාන්‍ය ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය තුළදී හඳුනාගත් ස්ථාන 52 සඳහා ප්‍රමුඛතාව ලබාදීමට පොරොන්දු වී ඇත.
මේ අතර, පෞද්ගලික සමාගම්වල සැපයුම් අඩුවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තවදුරටත් කුඩා ඉන්ධන පෝලිම් ඇතිවීමේ හැකියාවක් පවතින බවද ටී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.