ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට

Fuel Price In Sri Lanka Petrol diesel price Sinhala news Breaking News Puwath.lk
By R.rishma Nov 02, 2026 06:01 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ, දැනට පළමු කිලෝමීටරය සඳහා අය කරනු ලබන රුපියල් 110ක ගාස්තුව රුපියල් 120 දක්වා ඉහළ නැංවිය යුතු බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ රියදුරන් මුහුණ දෙන ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.     

"ගිය මාසයෙත් වැඩි කරා. අපි ඉල්ලීම කරා අපිට සද්දයක් නැහැ. දැන් මේ මාසයෙත් වැඩි වෙලා තියෙනවා. දැන් මේක රුපියල් 25කින් වැඩි වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව අපි පරිභෝජනය කරන සියලු දේ වැඩි වෙලා තියෙනවා.

අද ගෑස් හොයාගන්න නැහැ. ඉතින් මේක අන්තෝ ජටා බහි ජටා වගේ අපිව නන්නත්කාර වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. මේක පාරිභෝගිකයා තේරුම් ගන්න ඕනේ.

දැන් මේ වෙනකොට අපි ධාවනය කරන්නේ රුපියල් 110යි. පළවෙනි කිලෝමීටරයේ සංශෝධනය විය යුතු ගාස්තුව රුපියල් 120කට, දෙවෙනි කිලෝමීටරයේ ඉඳන් අපි මේ වෙනකොට අය කරන්නේ රුපියල් 90යි. ඒක රුපියල් 100ක් විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ.

ඒක අපි අරගෙන යනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. අපි බලමු ඉස්සරහට මේ ඉදිරි දින කීපය තුළදී ඒ අයගේ ප්‍රතිචාර. එහෙම නැති වුණොතින් එහෙම අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම අපේ මීටර සංශෝධනය, ඒ කියන්නේ ගාස්තු මීටරය සංශෝධනය කරන ආයතනත් එක්ක කතා කරලා මේක ගෙනියන්න විදියක් නැති වෙනවා. අපි එහෙම්පිටින්ම අසරණතාවයකට පත් වෙනවා."