ලාල් විජේනායකගේ වියෝව පිරිමැසිය නොහැකි පාඩුවක් - අගමැතිනිය තැබූ සංවේදී සටහන මෙන්න
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ ජාතික විධායක සභාවේ සාමාජිකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ ලාල් විජේනායක මහතාගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, වාමාංශික දේශපාලනඥයකු, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙන්ම මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ විද්වතකු ලෙස ඔහු මෙරට සමාජ හා දේශපාලන ඉතිහාසය තුළ ඉටු කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි බවයි.
වසර 85ක ජීවිත කාලය තුළ තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් නොසැලී පෙනී සිටි ලාල් විජේනායක මහතා, බලය හෝ තනතුරු හමුවේ තම මතවාද අත්නොහැර අවංකව කටයුතු කළ පුද්ගලයකු බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබේ.
2016 වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් පත් කළ මහජන අදහස් විමසීමේ කමිටුවේදී තමන්ට පළමුවරට ලාල් විජේනායක මහතා හමුවූ බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරිය, එතැන් සිට පොදු දේශපාලන මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ බවද සඳහන් කර ඇත.
දේශපාලනය යනු බලය හෝ තනතුරු ලබාගැනීමේ ක්‍රියාවලියක් නොව, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරගලයක් බව ලාල් විජේනායක මහතා සිය ජීවිතයෙන් පෙන්වා දුන් බවද ඇය ප්‍රකාශ කර තිබේ.
ඔහු සතු අත්දැකීම්, දැනුම සහ දේශපාලන පරිණතභාවය අනාගත පරම්පරාවටද ආදර්ශයක් වනු ඇති බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරිය, ඔහුගේ මානවවාදී දේශපාලන දැක්ම සහ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම ඉදිරියට ගෙන යාම ඔහුට දැක්විය හැකි සැබෑ උපහාරය බව අවධාරණය කර ඇත.
දේශපාලන මතවාද සම්බන්ධයෙන් එකඟ වූ මෙන්ම එකඟ නොවූ අවස්ථා පැවතියද, ඒ කිසිවක් ලාල් විජේනායක මහතා සමඟ පැවති මිත්‍රත්වයට, සහෝදරත්වයට සහ අන්‍යෝන්‍ය ගෞරවයට බාධාවක් නොවූ බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ලාල් විජේනායකගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් by rishma